විශ්වය තැනී ඇත්තේ ද්‍රව්‍ය (පදාර්ථය  ) සහ ක්‍රියා (චලන )වලිනි. අභිධර්මයට අනුව එය නාම සහ රූප ලෙස දක්වා ඇත.. නාම යනු ක්‍රියාවයි, රූප යනු පදාර්ථයයි.

අභිධර්මයට අනුව  සක්‍රිය පදාර්ථය සහ නිශ්ක්‍රිය පදාර්ථය නමින් පදාර්ථයෙහි ආකාර දෙකක් පෙන්වා දී ඇත. භෞතික විද්‍යාවෙහි එන එකම දැනුම නම් ශක්තියම පදාර්ථය වන බව පමණි.

සක්‍රිය පදාර්ථය හෙවත් ශක්තිය යනු අභිධර්මයෙහි සඳහන් රූපයයි.

නිෂ්ක්‍රිය පදාර්ථය යනු නිර්වාණ ධාතුවයි.

සක්‍රිය පදාර්ථය හෙවත් ශක්තිය හෙවත් රූපය නිතොර විකසනයට භාජනය වන බැවින් “විකාරයට පැමිණෙන දෙය” යන අර්ථය ඇති ‘රුප්පති’ යන වදනින් හඳුන්වා ඇත.

නිශ්ක්‍රිය පදාර්ථය හෙවත් නිර්වාණ  ධාතුව කිසි කලෙකත් විකසනය නොවන බැවින් රූප කාණ්ඩයට ඇතුළත් කර නැත.

පදාර්ථය දෙයාකාරයකින් පවතින්නා සේම ක්‍රියාව හෙවත් “නාම” කොටස  ද දෙයාකාර වේ. ඒ චලන සහ සංකලන ලෙසිනි. චලන යනු පවතින ස්ථානයක සිට වෙනත් ස්ථානයකට විස්ථාපනය වීමය. සංකලනය යනු එකිනෙකා මිශ්‍ර වීමෙන් නව මුහුණුවරකට පත් වීමය. අභිධර්මයට අනුව චලන යනු “චිත්තය” ලෙසද, සංකලන යනු “චෛතසික ” ලෙසද හඳුන්වාදී ඇත.  මෙහි සංකලන යනු රසායනික ප්‍රතික්‍රියා නොව එකිනෙකා තම අනන්‍යතාවය රැකගනිමින් යෙදෙන සාමූහික ක්‍රියාවකි. සහභාගීවන පිරිස අනුව ප්‍රතිඵලය වෙනස් වන බව දතයුතුය.

අභිධර්මයට අනුව චිත්තය යනු භෞතික ද්‍රව්‍ය යන්ගේ චලන යන්ගෙන් උපන්නකි. අභෞහික, අද්භූත, මිත්‍යා දෘෂ්ඨි සඳහා හේතුවන සංකල්ප බුදු දහමට අයත් නොවේ. බුදු දහම කල්පිත හෝ අද්භූත වාද මත පදනම් නොවූවකි. බුදු දහම සත්‍ය දහමකි. සත්‍ය ලෙසම පවතින භෞතික ද්‍රව්‍ය සහ ක්‍රියා මත පදනම් වූවකි. “අධ්‍යාත්මික” සංකල්ප ලෙස ගැනෙන කිසිවකුටත් හමු නොවන, සාධනය කළ නොහැකි , අභව්‍ය අද්භූත කිසිවක් බුදු දහම නොවේ.

(“අධ්‍යාත්මික” යන වදන සිංහලයෙන් රචිත දහම් පොත්හි හමු වෙතත්, සුදුසුම අර්ථය “අභ්‍යන්තර” යන වදන බව සවිතක්ක.නෙට් අපි යෝජනා කරමු. )

අභිධර්මයට අනුව විශ්වය පිළිබඳ මූලික විග්‍රහය දක්වන්නේ පරමාර්ථ ධර්ම සතරකිනි. ඒ, නිර්වාණ ධාතුව, රූපය, චෛතසික සහ චිත්තය ලසිනි.

මෙලෙස කියැවෙන්නේ භෞතික විද්‍යාවෙහි අර්ථදක්වන මහා පිපිරුමට පෙර තත්වයයි. මහා පිපිරුමට පෙර තත්වය පිළිබඳව භෞතික විද්‍යාව මුනිවත රකී.

ශක්තිය සහ පදාර්ථය අර්ථගැනේනුයේ මහා පිපිරිමට පසුවය. එබැවින් අක්‍රියව සහ ස්ථාඅවරව පවතින නිර්වාණ ධාතුව පිළිබඳව භෞතික විද්‍යාව සතුව  යම් හෝ දැනුමක් නැත.

රූප

අභිධර්මයෙහි රූප කාණ්ඩය කොටස් 28ක් ලෙස දක්වා ඇත. එහි අන්තර්ගතය ලෙස, මහා භූත රූප  4 සහ එම භූත රූප කරණකොට උපන්  සෙසු රූප 24ක් දක්වා ඇත. මෙහි සඳහන් රූප 24 අතුරින් රූප 14ක් ‘ නිෂ්පන්න රූප’ නම්වේ. එම රූප 14 සෘජුවම මහා භූතයන්ගෙන් සැදුම් ලත් නිසා ඒ නම ලබා ඇත. සෙසු රූප 10 ‘අනිෂ්පන්න රූප’ නම්වේ. මෙම රූප 10 මගින් කලින් සඳහන් වූ රූපයන්ගේ ගුණ, ලක්ෂණ සහ ක්‍රියා ස්වභාවයන් විග්‍රහ කෙරේ.

ආපෝ – වායෝ, තේජෝ – පථවි ලෙසින් නම් ඇති යුගල දෙකක් ලෙස ක්‍රියාත්මක ශක්තීන් සිව්දෙන, “මහා භූත රූප” නම්වේ. මෙම සිව්දන සෑම කල්හීම එක්ව වසති. වෙන්ව නොයති. නමුත් විකාරයට හෙවත් විකෘතියට එළඹෙති. එබැවින් අවස්ථානුරූපව  ඉහත ලක්ෂණ සතර අතරින් එකක් මතුකර පෙන්වති.

භෞතික විද්‍යාවෙහි එන (E=mC2   ) සමීකරණයෙන් පැහැදිලි කෙරෙනුයේ එබඳු එක් අවස්ථාවකි. එම සම්බන්ධය තේජෝ – පඨවි යුගලය වෙනුවෙනි. වරෙක තේජෝ ලෙස පෙනී සිටින්නේද පඨවියමැයි.

භෞතික විද්‍යාව තුළදී ශක්තිය යනු තේජෝ වය. එවිට පදාර්ථය යනු පඨවියයි. මෙහි ආපෝ – වායෝ යුගල සැඟව සිටින බව වටහාගෙන නැත.

ආපෝ ආකර්ෂණය වේ. වායෝ විකර්ෂණය මැයි. ආපෝ බලවත්ව ‘කළු කුහරය’ ද, වායෝ බලවත් ව ‘සුදු කුහරය’ ද ලෙස චක්‍රවාටය සමතුලිතව තහබති.

තේජෝ සූර්යයයන්ද, පඨවිය ග්‍රහ ලෝක ද තනා ඇත. ( අපගේ “සක්වල උපත” ලිපිය කියවන්න. )

( ශ්‍රී ලංකා භූමියෙහි අප්‍රකට අහුමුල්ලක සිට ලියනු ලබන මෙබඳු මත වාදයන් භෞද්ධ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කොට සනාථ කෙරේනම් එය අභිධර්මයට හා බුදු දහමට කරණු ලබන මහත් ගෞරවයකි )

ආපෝ යනු ජලය හෝ වැගිරෙන ස්වභාවය ලෙසද, තේජෝ යනු ගින්න ලෙසද, වායෝ යනු සුළඟ හෝ පිම්බෙන ස්වභාවය ලෙසද පඨවි යනු තද ගතිය ලෙසද  ආදී ලෙස ළමා වියේදී උගත් දෙයින් ඔබ්බට සිතන මෙන් ‘සවිතක්ක.නෙට්’  ඔබවෙතින් අයැද සිටිති.

ආපෝ යනු ආකර්ෂණ බලයයි. වායෝ යනු එහිම ප්‍රතිවිරුද්ධ අන්තය වන විකර්ෂණ බලයයි.  ආපෝ බලවත් විට වායෝ සැඟව සිටිති. එලෙසම වායෝ බලවත් විට ආපෝ සැඟව සිටිති. මෙම යුගලය සක්‍රිය යම් අවස්ථාවක් වේද එවිට සෙසු යුගලය සැඟව සිටිති.

ශක්තිය සකස් කෙරෙණ මූලික උපාංග වන මහාභූතයෝ සිව්දෙන ඉතාම සියුම්ය. උපකරණ තුළින් හෝ දැකීමේ හැකියාව මෙතෙක් ලබා නැත. නමුත් එය භෞතික රූපයක් බැවින් යම් දවසක මිනිසුන් විසින් දකිනු ඇත.

තේජෝ යනු ශක්තිය ද, පඨවි යනු එහි ප්‍රතිවිරුද්ධ අන්තය වන පදාර්ථයද වේ.  මහාභූතයෝ කොතෙක් සියුම්ද යත් හුදෙක් දත්ත හතරක් පමණක් ලෙස ගිණියහැක.

මෙම මූලික රූපයෝ මිනිසාට සංවේදනය වන ආඅකාර සතරකි.

තේජෝ රූපය – වර්ණය ( ආලෝකය, ශබ්දය, තාපය ආදී විද්යුත් චුම්භක තරංග )

වායෝ රූපය – ගන්ධය

ආපෝ රූපය – රසය

පඨවි රූපය – ස්පර්ශය

රූපයෙහි මූලික ගුණ සතරත්, අපට දැනෙන ස්වභාව සතරත් එක්ව ගත් කල යෙදෙන කරුණු 8 සලකා  මූලික භෞතික රූපය “ශුද්ධාෂ්ඨකය” නම් වේ.

අභිධර්මයට අනුව විශ්වයෙහි තැනුම් ඒකකය වන්නේ ශුද්ධාෂ්ඨකයයි.

අභිධර්මයට අනුව මහා භූතයන්ගෙන් නිපන් රූප 14කි. එය ‘නිෂ්පන්න රූප’ නමි. එබඳු රූපයන්ගේ ගුණ ස්වභාවයන් දක්වන අවස්ථා 10ක් ද ‘ අනිෂ්පන්න රූප’ නමින් නම් කර ඇත.

ඉහතින් සඳහන් කර ඇති නිෂ්පන්න රූප 14 සහ අනිෂ්පන්න රූප 10 හමුවන්නේ සත්ව ශරීර තුළ පමණි. සෙසු සියල්ල ශුද්ධාෂ්ඨකයාගේ නිර්මාණයෝය.

මහා භූතයන් නිසා නිෂ්පාදනය වූ රූප 14,

ජීවිත රූපය

හෘදය රූපය

ආහාර රූපය

භාව රූප 2

ප්‍රසාද රූප 5 – ඇස, කණ, නාසය, දිව, සම

ගෝචර රූප 5 – වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ

නිෂ්පන්න රූප 14කැයි කීවද ඉහත කරුණු 15කි. සැබෑවනම් ශබ්දය නමින් ස්වාධීන රූපයක් නොපවතින බව වේ. මන්දයත් වර්ණ සහ ශබ්ද යන දෙක ම එකම විද්යුත් චුම්භක වර්ණාවලියේ අවස්ථා දෙකක් පමණක් බැවිනි. ඒ අනුව එකම තේජෝ බලය වර්ණය ලෙසද, ශබ්දය ලෙසද සත්වයා විසින් හඳුනා ගැනීම සිදුව ඇත.

ජීවිත රූපය

සතවයා මිහිමතට පැමිණියේ ජීවිත රූපය පහලවීමත් සමඟය. රසායනිකව සකස්වූ ඩී.එන්.ඒ. අනුව තුලින් අධි සංඛ්‍යාත තරංගයක් ගමන් කිරීම නිසා ජීවිත රූපය බිහිවිය. එය සත්වයාගේ සකස්වීම විය.

පටිච්චසමුප්පාද විවරණය අනුව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාරයද, සංඛාරය ප්‍රත්‍යයෙන් විඥාණයද පහලවිය.විඥාණය පහලවීම යනු සත්වයාගේ ආරම්භය වේ. විඥාණය පහලවීම ජීවිත රූපය මත සිදුවේ.

මෙහි අවිද්‍යාව යනු ඩී.එන්.ඒ. අනු එකතුවෙහි සකස්වී තිබූ සන්නයන හැකියාව වේ. ආලෝකය හා සංවේදී වූ අනු නිසා ශාක සෛලයන්ද, වෙනත් අධිසංඛ්‍යාත තරංගයක් හා සංවේදී වූ අනු නිසා සත්ව සෛලය ද බිහිවිය. සංඛාරය යනු එම අධි සංඛ්‍යාත තරංගය බව අපගේ යෝජනාව වේ. ( අපගේ “ජීවයේ  උපත” ලිපිය කියවන්න. )

අවිද්‍යාව යනු ආකර්ෂණය හෙවත් විශම ලෝභයයි.  ජීවිත රූපයද සතර මහා භූතයන්ගේ ආකර්ෂණ බලය වන ආපෝ බලයේ විකාශනයකි.

පළමුව ඩී.එන්.ඒ අනුව සකස්වී, සුදුසු යම් අනු එකතුවක් සකස් විය. අහඹුලෙස ඒ මත සංඛාරය ගැටීම නිසා ඩීඑ,එන්,ඒ. පරිපථය තුළින් තරංගයක් ගමන් කර, ජීවිත රූපයද, ජීවිත රූප චෛතසිකයද, විඥාණයද යන සියල්ල එක් ක්ෂණයකදී පහල විය. සත්වයාගේ ආරම්භය සිදුවූයෙ එපරිදිය.

ජීවිත රූපය කර්මාණුරූපව උපදින්නකි.  ලොවට කර්මය පහල වූයේද ජීවිත රූපය පහල වීමත් සමඟිනි.

විඥාණය සමඟ අනිෂ්පන්න රූප පහල වීමද සිදුවේ.

සිතක ආයුශ චිත්ත ක්ෂණ එකක් ලෙස ගත් විට, රූපයක ආයුශ චිත්ත ක්ෂණ 17කි. ජීවිත රූපයේ ආයුශයද එපමණකි. සිත පහලවන්නේද සිත් වැලක් වශයෙනි.

පළමු සිත්වැල අවසන් වූ පසුවද ජීවිත රූපය පැවතීම නිසා ඒ මත දෙවන සිත්වැල ආරම්භවේ. දෙවන සිත්වැලෙහි දෙවන ක්ෂණය වනවිට පළමු ජීවිත රූපය මියගිය නිසා දෙවන ජීවිත රූපය ප්‍රතිසන්ධිය වේ. මෙලෙස වූයේ, රූපය නැති තැනක විඥාණයත්, විඥාණය නැති තැනක රූපයත් නොපවතින නිසාය. සත්වයාට ප්‍රතිසංධිය ලැබෙන්නේ මෙලෙසිනි.  (සිත්වැලක ක්‍රියාකාරීතවය ඉදිරියේදී උගත් පසුව ප්‍රතිසංධිය වටහෙනු ඇත. )

මෙතෙක් කියැවුනේ පෘථිවිය මත ජීවය පහලවීම පිළිබඳවය. ජීවයට සුදුසු පරිසරය සකස්වූ වකවානුවෙහි ( වසර බිලියන 4.5කට පමණ පෙර ) එවැනි සමුද්‍ර කලාප මත සජීවී අනු ලක්ෂ ගණනින් එකතුවී ද්‍රාවණයක් ලෙසින් පැවතුනි. මව්කුස තුළ සකස්වන සජීවී යුක්තානුව මතට බාහිරින් එන චිත්ත පරම්පරාවක පතනය වනවා සේම ආභස්සර බඹලොව සිට පැමිණි චිත්ත පරම්පරාවන් පතනය වීමෙන් විවිධවූ සත්ව කොට්ඨාශ මිහිමත පහලවූබව සූත්‍ර පිටකයෙහි සඳහන්ව ඇත.

 වර්තමාන මිනිසා පිළිබඳව සැලකීමේදී ජීවිත රූපය හෘදය රූපය සමඟම කර්මානුරූපව සකස් වන බවත් මොළය තුළ ‘මෙඩුල්ලා ඔබ්ලොංගාටා” කොටස හා   මද්‍ය ස්නායු පද්ධතිය පාලනය කරන බවත්, ආශ්වාසය පාලනය කරන බවත්, සෙසු කර්මජ රූප වලට නවාතැන බවත් මනෝකායෙහි පදනම බවත් සැලකියයුතුය.

හෘදය රූපය

හෘදය රූපයද ජීවිත රූපය සමඟම පහල වන රූපයකි. මහා භූතයන් අතරින් ‘විකර්ෂණ බලය’ වන වායෝ රූපය විකසනයෙන් හෘදය රූපය උපදී. ජීවිත රූපය හා හෘදය රූපය විසින් ආකර්ෂණ විකර්ෂණ සමතුළිත තාවය ආරක්ශා කර ඇත.

වර්තමාන සත්වයාගේ හෘදයේ බිත්ති තුළ හෘදය රූපය තැන්පත්ව ඇති ස්ථානය එස්.නෝඩ්, වී.නෝඩ් යන නම් වලින් හැඳින්වේ. හෘදය ක්‍රියත්මක වීමට අවශ්‍ය රසායනික විද්යුත් බලය උපදවන්නේ හෘදය රූපය විසිනි. හෘදය රූපය කර්මය අනුව සකස් වන්නකි.

හෘදය රූපය වස්ථු රූප නාමයෙන්ද දක්වා ඇත. වස්ථු භාවයෙන් ගත් විට, හෘදය ප්‍රධානවද, ඇස, කණ, නාසය, දිව සහ සම යන ඉන්ද්‍රිය පහ ද වස්ථු ලෙස දක්වා ඇත්තේ එම ස්ථාන වලදීද සිත් උපදින නිසාවෙනි. ඒ අනුව බාහිර ස්නායු පද්ධතීය පාලකයා වන්නේ ද හෘදය රූපයයි.

සත්වයා ජීවත්ව සිටිනතාක් මූලික සිත උපදින ස්ථානය වන්නේ හෘදය රූපයයි. හෘදයරූපය තුළ සිත් නූපදින මොහොතක් ජීවත්ව සිටින කාලය තුළ හමුනොවේ.

ආහාර රූපය

ආහාර රූපය යනු සත්වයා සකස් කිරීමට උපකාරවන රූපයයි. සත්ව ශරීරය සකස් කිරීමට අවශ්‍ය වන කාබොහයිඩ්‍රේට්, ප්‍රෝටීන් ආදියද ආහාර රූපයේ එක් අවස්ථාවකි.  එය ‘කබලිංකාර ආහාරය’ නම්වේ. ඇසට ආලෝකය , කණට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, සමට ස්පර්ශය ආදියද ආහාර වේ. එය ‘ස්පර්ශ ආහාරය’ නම් වේ. සිත් උපදවන අරමුණුද ආහාර වේ. එය ‘මනෝ සංචේතනා ආහාඅරයයි’. විඥාණය උපදවන හේතු ‘විඥාන ආහාරයයි.

ආහාර රූපය ලෙස පෙනී සිටින්නේද මහා භූත රූපයෝ මය. කබලිංකාර ආහාරය වන්නේ ගහකොල, මස් මාංශ ආදියේ අඩංගු ගුණයන්ය. ස්පර්ශ ආහාරය වන්නේ  ශුද්ධාෂ්ඨකයෙහි අඩංගු ගුණයන්ය. තරංග ස්වභාවයන්හි සෙසු ආහාර රූප අඩංගුව ඇත.

භාව රූප දෙක

ස්ත්‍රී භාව රූපය සහ පුරුශ භාව රූපය යනුවෙන් භාව රූප දෙකකි. මහා භූත රූපයන්හි එන තේජෝ ගුණය බලවත්ව පිහිටීමෙන් පුරුශ භාව රූපය සකස් වේ. දුබලව පිහිටීමෙන් (පඨවිය බලවත්ව  ) ස්ත්‍රී භාවරූපය සකස් වේ. එක් වරක පිහිටා සිටින්නේ මෙම රූපයන්ගෙන් එක් රූපයක් පමණි.

ආපෝ ගුණය  –  ජීවිත රූපය

වායෝ ගුණය  – හෘදය රූපය

සතර භූතයින්  – ආහාර රූපය

තේජෝ, පඨවි  – භාව රූප දෙක

ප්‍රසාද රූප 5

ශුද්ධාෂ්ඨකයෙහි ගුණ හඳුනාගතහැකි වන පරිදි සත්ව ශරීරයේ ස්නායු අග්‍ර සකස් වී ඇත. එම ස්නායු අග්‍ර ප්‍රසාද රූප නම් වේ.

තේජෝ රූපය  – ඇස (වර්ණ )  කණ (ශබ්දය ) සම (උනුසුම  )

වායෝ රූපය  –  නාසය (ගන්ධය  )

ආපෝ රූපය  – දිව (රස  )

පඨවි රූපය  – සම (ස්පර්ශය, පීඩනය )

ඉහත කී ස්නායු අග්‍ර හා සමපාත භූත රූපයෝ ගෝචර රූප නම් වේ. එහි විස්තරයද ඉහත සඳහන්ව ඇත.

ඇසට වර්ණ රූපයද, කණට ශබ්ද රූපයද, නාසයට ගන්ධ රූපයද, දිවට රස රූපයද , සමට ස්පර්ශ රූපයද ගෝචර වේ. ආලෝකය හා ශබ්දය  යනු එකම තේජෝ රූපය  බැවින්, ඇසට හා කණට තේජෝ රූපයද, නාසයට වායෝ රූපයද, දිවට ආපෝ රූපයද, සමට (කයට ) පඨවි රූපයද ගෝචර වෙති.

අභිධර්මයෙහි එන පරිදි, ඉහත විස්තර අනුව පැහැදිලි වන කරුණවන්නේ, සිව් මහ භූත රූපයන් ගේ නිර්මාන හැරුණුකොට අන් යමක් විශ්වයෙහිම නැති බවයි.

( වැඩි විස්තර සඳහා ” විශ්වයෙහි ආරම්භය” සහ ” ජීවයේ ආරම්භය” යන ලිපි කියවා බැලිය යුතුවේ. )

යම් මනසක් විසින් මෙහි එන රූප විස්තරය වටහා ගත්තේනම්, මැවුම්කාර වාදයද, ආත්මවාදයද දුරුවී යනු ඇත. ශාස්වත වාදීන්ගේ මතය වන්නේ ආත්මය යනු ආරම්භයක් හෝ අවසානයක් නැති සදාකාලිකව වෙනස් නොවන ( ආකාශ රූපය වැනි ) යමක් වන බවකි. ඔවුන්ට අනුව තුන් ලොවෙහි පවතින ආත්ම සංඛ්‍යාව නියතයකි. අඩුවීමක් හෝ වැඩි වීමක් නැත. එහෙත් ජීවිත රූපය වටහාගත් ඔබට, අළුත් ජීවිත රූප හටගන්න බවද, එහි ආයුකාලය අල්ප බවද, වැටහෙනු ඇත. පුනර්භවය වන්නේ කලින් පැවති රූපය නොව අළුත් රූපයකි. සත්වයා යනු රූප සන්තතියකි. එමරූප කර්මාණුරූපව වෙනස් වේ. නිවනේදී නිරවශේශයෙන් ප්‍රහාණය වේ. මේ අනුව ශාස්වත වාදීන්ගේ මතය වන ආත්ම සංඛ්‍යාව නියතයකි යන මතය බිඳ වැටේ. ජීවිත රූප අළුතින් හටගනී.  ආත්මය වෙනස් නොවේ යන මතය බිඳවැටේ, ජීවිත රූපය කර්මාණුරූපව වෙනස් වේ. සසරේ ගමන් කරන ආත්මයක් ඇත යන මතය බිඳ වැටේ. ජීවිත රූපය එකක් නොව රූප සන්තතියකි.  ඇතිවෙමින් නැතිවෙමින්යන ජීවිත රූප පෙලක් සහ ඇතිවෙමින් නැතිවෙමින් යන සිත් පෙලක් එකමත එක සමපාත වීම නිසා සත්වයා නම් කෙනෙක් හැමදාම පවතී. ස්ථාවර ආත්මයක් නැත. ( සිත් වැල් ඉගෙනගත් පසු මෙය තව දුරටත් පැහැදිලි වනු ඇත. ) ආත්මය විනාශ නොවේය යන මතය බිඳ දමන තැන වන්නේ නිවනයි.  පිරිනිවීමෙන් ජීවිත රූප සන්තතිය අවසන් වේ. ඔබ මෙතෙක් උගත් කරුණු සියුම්ව විමසා බැලුවේනම්, සත්වයා යනු මූලික කරුණු 3ක් බව වැටහෙනු ඇත. එනම් ආහාර රූපය, ජීවිත රූපය (සෙසු රූප ද ඇතුළත්ය ) සහ චිත්තයයි.

ආහාර රූපයට අනුව කය සකස්වේ. කයෙහි එන ජාන සැකැස්ම විශේශ කොට සැලකිය යුතුවේ. ඒ ඒ සත්වයා අනුව කයට යම් ආයුශයක් නියමිතව ඇත. කය අවසානයක් සහිතය, අවසානය මරණය නම් වේ.

ජීවිත රූපය කයෙහි ජාන සැකැස්ම මත සකස් වන්නකි. ජීවිත රූපයෙහි ආයුශ සහ සිත් පෙලක ආයුශ සමාන වේ.අභිධර්මයට අනුව එය “චිත්ත ක්ෂණ” 17කි. ජීවිත රූපය සන්තතිය සහිහය. එනිසා පළමු රූපය මියගිය සැනින් දෙවැනි රූපය හටගනී. ජීවිත රූපය ප්‍රධාන රූපය වන අතර හෘදය රූපය සහ ඉන්ද්‍රිය රූප ඒ මත හටගනී.

චිත්තය යනු ජීවිත රූපය මත සක්‍රිය වන ස්වභාවයකි. එයට හේතු වන බලය යම් අධි සංඛ්‍යාත තරංගයකින් ලැබේ. බොහෝ අර්ථ සහිත “සංඛාර” පදයෙන්ම එයද හැඳින්වේ.   එය සංඥාව නොවේ. ජීවිත රූපය වටා සකස්වූ ක්ෂෙත්‍රයක් වැනිය. වේදනාව, සංඥාව, සංඛාරය (චෛතසික ) යනු චිත්තයාගේ උපාංගයෝය. ජීවිත රූපය නිසා ( චිත්තය නම්) ක්ෂෙත්‍රය ආරක්ෂා වන්නාසේම, ක්ෂෙත්‍රය නිසා ජීවිත රූපය ආරක්ෂා වේ. එලෙසම ජීවිත රූපය නිසා ක්ෂෙත්‍රය හටගත්තාසේම ක්ෂෙත්‍රය නිසා ජීවිත රූපය හටගනී. දෙදෙනාගේම සන්තතිය නොබිඳී පවතින්නේ එබැවිනි.

ආහාඅර රූපයේ ඵලය වූ ජාන සැකැස්ම මියයන මොහොතේ දීම වෙනත් ජාන සැකැස්මක් මත සක්‍රිය වීමට මේ දෙදෙනා කටයුතු කරනු ඇත.

ජාන සැකැස්ම මත උපන් අවසාන ජීවිත රූපයද මිය යන ක්ෂණයේදී චිත්තය පමණක් වෙනත් ශරීරයක ජාන මත නව ජීවිත රූපයක් උපදවා ගනිමින් නව ජීවිතයක් ආරම්භ කරයි. එය පුනර්භවය නම් වේ.

සාරාංශය

ජලයේ දියවී ඇති රසායනික ද්‍රව්‍ය ( ආහාර රූපය ) නිසා ඩී.එන්.ඒ. අනු සකස් විය.

එම අනු මත සංඛාරය ගැටීමෙන් ජීවිත රූපය සකස් විය.

ජීවිත රූපය මත චිත්තය සකස් විය.

චිත්තය නිසා ජීවිත රූප සකස් විය.

ජීවිත රූපය නිසා හෘදය රූපය සකස් විය.

හෘදය රූපය නිසා සත්වයා සකස් විය.

(අහම්බයකින් සකස්වූ සසර දකිද්දී අහෝ සිදුවූ විපතකැයි හැඟේ )

 මමත්ව සංකල්පය දුරුවනු පිණිස අනිෂ්පන්න රූප විස්තරයද වටහා ගනු මැනවි.

අනිෂ්පන්න රූප

අභිධර්මයට අනුව සියළු භෞතික  රසායනික ගුණ අයත් වන්නේ රූප කාණ්ඩයටය. රූපයෙහි ගුණ වෙනස් නොවන පරිදි සිදුවන චලන,  සාමූහික ක්‍රියා ආදිය නාම ලෙස ගැනේ.  

භෞතික රූපයක සකස්වීම, පැවතීම, විපරිනාමය, විනාශය යන යන රසායනික වෙනස්කම් ගොනුකර ඇත්තේද රූප කාණ්ඩයටය. එම රූප ලක්ෂණ රූප නම්වේ. එම රූප උපචය, සන්ත්තිය, ජරතාවය, අනිච්චතාවය ලෙසින් නම් කර ඇත. ලක්ෂණ රූප සතරකි.

සකස්වූ යම් රූපයකට අදාල වන ගුණ තුනකි.

සැහැල්ලු ක්‍රියාශීලීබව ලහුතා රූපය නම් වේ.

නම්‍යශීලී මුදු මොලොක් බව මුදුතා රූපය නම් වේ.

ක්‍රියාවෙහි සුදුසු බව කම්මඤ්ඤතාරූපය නම් වේ.

නූපන් රූපයන් අතර  ප්‍රධානම රූපය වන්නේ ආකාශ රූපයයි. පරිච්චේද රූපය යනුද එයමැයි. රික්තය යනුද එයයි.

ආකාශය හෝ රික්තය යනු විශ්වයේ මූලික ස්වභාවය හඳුන්වන නමකි. විශ්වයෙහි ශක්තිය හැරුණුකොට පවතින යමක් වේනම් ඒය රික්තයයි. රික්තය යනු යම් හේතුවකින් උපදින්නක් නොව පවතින මූලික ස්වභාවයකි. සත්ව ශරීරය තුළ යම් නිශ්චිත අනු අතර පවා මායිමක් ඇත. ස්වාධීන අනු වෙන්කෙරෙන සීමාව පරිච්චේද රූපය නම්වේ.  එයද රික්තය හෙවත් ආකාශ රූපය වේ.

අභිධර්මයෙහි එන අනිෂ්පන්න රූප සංඛ්‍යාව 10කි. කියන ලද පරිදි ලක්ෂණ රූප 4කි. ලහුතාදී ගුණ ඇති රූප 3කි. අකාශ රූපය ද ගත් විට රූප අටක විස්තර කියා ඇත. ඉතිරි රූප දෙක වන්නේ කාය විඥත්ති රූපය සහ වාක් විඥත්ති රූපයය. මෙය කෙනෙකු විසින් වටහා ගතයුතු වටිනාම කරුණකි.

විඥත්ති රූප

යම් සත්වයෙකු ජීවතුන් අතර සිටින බව දැනගත හැක්කේ හෘදය ක්‍රියාතමක වන බව සහ අනෙකුත් අවයව ක්‍රියාත්මක වන බව දැකීමෙනි. යමෙකු තමා ජීවත්ව සිටින බව දැනගන්නේ සිතිවිලි හටගැනීම නිසාය.

තමාට තමා ජීවත්ව සිටින බවට තහවුරු කර දෙනුයේ කාය විඥත්තිය සහ වාක් විඥත්තිය විසිනි. කාය විඥත්තිය විසින් හෘදය සහ කය ක්‍රියාත්මක කරවන අතර වාක් විඥත්තිය විසින් සිතිවිලි උපදවනු ඇත.

සත්ව ශරීරයෙහි සංඥා වාහකයා නියුරෝන සෛල නමින් හැඳින්වේ. ශරීරයේ සියළුම තැන්හි නියුරෝන සෛල පැතිරී ඇති අතර මොළය තුළ පමණක් නියුරෝන සෛල බිලියන තුනක් පමණ ඇතැයි අසා ඇත. මෙම නියුරෝන සෛල තුළින් යම් රසායනික විද්‍යුතයක් ගලන බව විද්‍යා දැනුම වේ. සෛලය තුළදී ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලා යන අතර සෛල අග්‍රයේදී සෝඩියම්, පොස්පරස් ආදී ධන අයන විසින් වෙනත් සෛල වෙත ධාරාව හුවමාරු කරයි. මොළයෙහි ඇති ඉන්ද්‍රිය කලාප අවදි කරනුයේ මෙම ධාරාව විසිනි.  නියුරෝන සෛල තුළින් ගමන්කරන්නාවූ ඉලෙක්ට්‍රෝන ආදී පදාර්ථයෙන් සකස් වූ ධාරාව රූප කාණ්ඩයට අයත් වේ. එය විඥත්ති රූපයයි.  මෙයින් මතුවන අර්ථය වන්නේ, ජාන සැකැස්ම මත ගැටෙන අදිසංඛ්‍යාත තරංගය (සංඛාරය ) ජීවිත රූපය සහ විඥාණය තනා විඥප්ති රූපය බවට පත්ව, ස්නායු සෛල තුළින් මොළය දක්වා ගමන් කොට එතැනින් අණ ලැබෙන පරිදි අවයව වෙත ගොස් ක්‍රියා දක්වා අවසන් වන බවයි. ස්නායු සෛල අතර පණුවුඩ හුවමාරුවට උපකාරීවන ධන අයන ප්‍රමාණය මඳවේනම්, ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප දුර්වල බවද සිහිකළයුතුය.

නියුරෝන තුළින් ගමන් කරනුයේ  අභිධර්මයේ කියවෙන චිත්තය හෝ සංඥාව නොවේ. එය විඥත්ති රූපයයි.

සිත් උපදින ස්ථාන වන හෘදය, ඇස, කණ, නාසය, දිව සහ සම යන වස්තු රූප සය මතම සිත් උපදී. ඒ සිත් සමඟ විඥත්ති රූපද උපදී.

සිත උපදින පළමු ස්ථානය වන්නේ ජානමත සකස්වුනු ජීවිත රූපය හා සමපාතවන හෘදය රූපයයි. හෘදය රූපය මත සිත් ඉපදීම අනුව විඥත්ති රූප උපදිනු ඇත. විඥත්ති රූපය යනු ගලායන ශක්ති ප්‍රවාහයකි. ( මූලික ජීවයේ නියුරෝන නැත ) මූලික ජීවියාගේ ජාන සැකැස්ම තුළ ගලායන විඥත්තිරූප ශක්තිය බාහිර සාධක සමඟ ගැටෙනු ඇත. බාහිර සාධකයනම් ගෝචර රූපයෝය. ඒ ඒ ගෝචර රූපය ගැටෙන ස්ථානයන්හී ඊට සුදුසු ප්‍රසාද රූපය සකස් වේ. මිනිසාඅට ආලෝකය, ශබ්දය, උනුසුම, සුවඳ, රස, ස්පර්ශය ගෝචර නමුත් වෙනත් ජීවී කොට්ඨාශ සඳහා වෙනත් රූප ස්වභාවයන් ගෝචර වෙති.  දේශාටනයෙහි යෙදෙන පක්ෂීන් හට පෘථිවි චුම්භකත්වය ගෝචර රූපයකි, ප්‍රසාද රූපය “ක්‍රිප්ටොක්‍රෝම්” නම් වේ.  නාමරූපයන් ප්‍රත්‍යයෙන් සලායතන උපදින බව මෙලෙස පැහැදිලිවේ.

කිවයුතු  වැදගත්ම කරුණ වන්නේ, මොළය යනු සිත ඇතිවන ස්ථානය නොවන බව වේ.

මොළය යනු සිතිවිලි ඇතිවන ස්ථානයයි.

හෘදය වස්තු රූපය ඇතුළු වස්තු රූප 6ක සිත් උපදින නමුත්  එය නොගෙන, මොළය හා සක්‍රිය සිතිවිල්ලක් පාදක කර ගනිමින් ඉතා සියුම් ධ්‍යාන ඉපදවුවද එය ගැනෙන්නේ මිත්‍යා සමාධි ගණයටය. ප්‍රතිඵලය වන්නේ සසරෙහි මිහිරි සිරගත වීමකි.

කාය විඥත්ති රූපය

හෘදයෙහි එස් නෝඩ් සහ වී නෝඩ් යන ස්ථාන වල ක්‍රියා කිරීමේ බලය ජනිත කෙරේ. බලය ජනිත කරනුයේ චිත්තය විසිනි. ජනිත වන බලය කාය විඥත්ති රූපය නම් වේ. එම බලය විසින් හෘදය සහ රුධිර සංසරණ පද්ධතියද, ස්වශන පද්ධතිය, ආහාර ජීර්ණය සහ සියළු ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් සහ අංගචලන සඳහා බලය දෙනු ඇත.  අප නින්දෙහි සිටියදී පවා ශරීර ක්‍රියාකාරකම් පවත්වා ගනුයේ හෘද රූපය මත උපදින කාය විඥත්ති බලය විසිනි.

මොළයට ඇතුළුවන කාය විඥැප්තිරූපය පළමු කොටම ඇතුළු වනුයේ මොළයෙහි “ඇමිග්ඩෙලා” නම් කොටසටය. එහිදී, කාය විඥැත්තිරූපය ඉපදවූ චේතනාව අනුව සුදුසු ස්ථනයකට යොමු කිරීම සිදු වේ. ඒ අනුව “පිටියුටරි” ග්‍රන්ථිය සක්‍රියව හොර්මෝන ස්‍රාවය වේ. චේතනාව රාගනිශ්‍රිත නම් “රිවෝඩ් සර්කිට්” කලාපය සක්‍රිය වේ. ටෙස්ටොස්ටිරොන් හොර්මෝනය සහ අදාල උපකාරක හොර්මෝන සක්‍රිය වීම සිදුවේ. අරමුණ ඇසහා බැඳී ඇත්නම් යළි යලි ඇස එහිම යෙදවීම සිදුවේ. ප්‍රතිඵලය භුක්තිවිඳින ශරීරයේ අවයව ක්‍රියාත්මක වීමද සිදුවේ. මෙලෙස ශරීරයේ සියළු අංග චලනයන ක්‍රියාත්මක වීම්, හැඟීම් උද්දීපනය කිරීම් සිදු කරනුයේ කාය විඥත්ති රූපය විසිනි. මෙවැනි කිසිවක් “ආත්මයක් විසින් මෙහෙයවනවා නොවේ”

සිතෙහි යම් ද්වේශ සහගත චේතනාවක් ඉපදුනේනම් මොළයෙහි “ෆනිෂ්මන්ට් සර්කිට්” නම් කලාපය අවදිවේ. “ඇඩ්‍රිනලින්” නම් හොර්මෝනය සක්‍රිය වේ. ඒ අනුව ‘පහරදීම හෝ පලායාම’ යන ක්‍රියා මාර්ගයට එළඹීම සිදුවේ. හද ගැස්ම වැඩිවීම, ආශ්වාස වේගය වැඩිවීම, කයෙහි ශක්ති දහනය වැඩිවීම සිදුවේ. හොර්මෝන සක්‍රිය වී කය ක්‍රියාත්මක වන්නේ සිතින් සිතා බැලීමට පෙරාතුවය. බොහෝ කටයුතු සිදු වන්නේ නොදැනුවත්වමය. අපගේ කායික ක්‍රියා පාලනයට තදබල ශීලයක් අවශ්‍ය වන්නේ එබැවිනි.

මෙයින්වටහා ගතයුතු දෙය වන්නේ, සිත හටගැනීමට දායක වන චේතනාවට අනුව කාය විඥත්තිය සකස් වන බවත්, කාය විඥත්තියට අනුව හොර්මෝන ස්‍රාවය සිදුවනබවත්, ඒ අනුව මොළයේ කලාප සක්‍රිය වී අවයව ක්‍රියාත්මක කරවා චේතනාවට අනුරූප ක්‍රියාව ඉටු කරණ බවත්ය.

“චේතනාවම කර්මය වේ” යන වැකිය සිහිකල යුතු වේ.

වාක් විඥත්ති රූපය

වචී විඥත්තිරූපය යනු ද වාක් විඥත්ති රූපයමැයි. විඥත්ති රූප යුගලයම යම් සිතකට පාදක වන චේතනාවට අනුරූපව සිත සමගම, එකම ක්ෂණයේදී ම උපදී.  කාය විඥත්තිය විසින් කායික ක්‍රියාව කරනවා හා සමගාමීවම වචී විඥත්තිය විසින් (ශබ්ද  ) වචන උඅපදවයි. අප අත්විඳින සෑම සංවේදනයක් සමඟම වචන (ශබ්ද  ) උපදින නිසා ඒ ශබ්ද රටාවකට පෙලගැස්වීමෙන් භාශාව සකස් කර ඇත. අපට සිතෙන්නේ ද, අප සිතන්නේ ද වචන සකස් වීම නිසාය.

අප නොදුටු මොහොතක පාදයෙහි කටුවක් ඇනුනහොත්, ඇනුනු සැනින් පය ඉවතට ගන්නේ කාය විඥැත්තිය විසිනි.  “ඌයි” කියැවෙනුයේ වාක් විඥැත්තිය ක්‍රියාත්මක වීමෙනි.

සෑම ක්‍රියාවකටම ශබ්දයක් ඇත, සෑම ශබ්දයකටම ක්‍රියාවක් ඇත. ගායනය, නර්තනය, සටන් කලා ආදියෙහි මේබව හොඳින් දැකිය හැකිය.

අපට සිතෙන්නේ වාක් විඥත්තිය උපන් නිසාය. වාක් විඥත්තිය නොවීනම් වචන ද සිතිවිලි ද නැත.

“මම සිතමි, එබැවින් මම වෙමි” යනු රෙනේ ඩෙකාර්ට්ස් නම් දාර්ශනිකයාගේ ප්‍රකට කියමනකි. ඔහු යම් යම් කරුණු අලලා දීර්ඝව සහ තර්කානුකූලව සිතන බැවින් තමා කියා කෙනෙකු ඇති බවට තර්ක කරයි. බටහිර විද්‍යාව විසින් මෙම මමත්ව වාදය මූලික සංකල්පයක් ලෙස පිළිගෙන ඇත.

යම් බාහිර හේතුවක් කරණකොට වාක් විඥත්ති රූප හටගත් අවස්ථාවක සිතිවිලි පහල වනවා විනා තමා විසින් එය නොකරණ බව අභිධර්මයේ එන මතයයි. ඒ අනුව මමත්ව වාදය ප්‍රතික්ෂේප කෙරේ.

ළදරුවෙකු ඉදිරියට යම් සතෙකු පැමිණි අවස්ථාවක ආඅලෝකය නිසා ඇසෙහි සංවේදනයක් හටගනු ඇත.. ඇස තුළ සිත ද, විඥත්ති රූප ද හටගනු ඇත.. වාක් විඥත්තිය විසින් “බූව, බූව” වැනි හඬක් උපදවනු ඇත. එම ළදරුවා විසින් පෙර සත්වයා දකින සෑම විටකම එකම හඬ උපදවයි. භාශාවේ ආරම්භය එවැනිය. මව් පියන් විසින් එම සත්වයාට අදාල ශබ්දය “බ-ල්-ලා” ලෙස වරින් වර ඉගැන්වීම අනුව උපදින වාක් විඥප්තිය “බල්ලා” ලෙස සකසා ගනී. ළදරුවා බහ තෝරාගනී.

උපන් වාක් විඥත්තිය “නා-යී-ඊ” ලෙස සකසගත් අය හෝ “ඩෝ-ඕ-ග්” ලෙස සකසා ගත් අය එවැනි වදන් මාලා හසුරුවති.

මෙලෙස අපගේ මනස තුළ වදන් සැකසෙන්නේ බාහිර අරමුණු නිසාය. ඇසින් දුටු රූපය, කණින් අසාගත් වදන, සුවඳ, රස ආදී මූලික අරමුණට අදාල වන සියල්ල මොළය තුළ මතක ගොනුවක් ලෙස ගබඩා කෙරේ. යම් නිශ්චිත වූ අරමුණක් වෙනුවෙන් ඉන්ද්‍රිය කීපයක උපන් කාය වාක් විඥාත්ති රූප වල ඵල එකම ගොනුවක ගබඩා කිරීම “දෘෂ්ඨිය” නම් වේ.

බොහෝ මතක ගොනු තනාගත් වැඩිහිටියෙකු හට මූලිකවූ අරමුණ තමන් ඉදිරිපිට නැති වුවද මතකය අවදි කර විස්තර විචාරය කිරීමට සහ නොදත් කොටස් පිළිබඳ විතර්ක කිරීමට හැකියාව ඇත. එය මිනිස් මොළය සතු හැකියාවකි. ඒය පරිකල්පනය නම් වේ.

පරිකල්පනය කායික ක්‍රියාවකි. කාය විඥත්තිය විසින් හසුරුවන්නකි. කය වෙහෙසන අයෙකුගේ පරිකල්පන හැකියාව අඩු වන අතර කය නොවෙහෙසන අයෙකුට පරිකල්පන හැකියාව වැඩිවේ. මිනිසා අලසව සිටියද සිත් වැල් පහලවීම සිදුවේ. ඒ සෑම සිතක් හා සමඟම කාය වාක් විඥැත්තිරූප පහල වේ. එය විශාල ශක්ති ප්‍රමාණයකි.  කය වෙහෙසන්නෝ උපන් ශක්තිය කායික ක්‍රියා සඳහා වැය කොට අවසන් කරති. අලස මිනිසාගේ අතිරික්ත වන ශක්තිය මොළය  තුළ පැතිරේ. මොළය සක්‍රිය වේ, බොහෝ නියුරෝන අවදි වේ. විතර්ක හැකියාවෙන් අනූන තැනැත්තා වාක් විඥත්තිය බහුලව භාවිතා කරයි. බොහෝ වචන උපදවයි. සමහරෙකුට වචන ගලා එන්නේ විරිතකට අනුවය. ඔවුහු ලියන දේ ‘කවි’ නම් වේ. එම කවි හරසුන් හෝ හරවත් ලෙස තේරීම  පාඨකයන් අතින් සිදු කරෙන්නකි. තමා විසින් ලියන්නේ වීනම් කිසිවෙකුත් හරසුන් දේ ලියා අපවාදයට ලක් නොවනු ඇත. කවි ලිවීම තමාගේ නොව වාක් විඥත්තිරූපයාගේ ක්‍රියාවකි.

තමන්ට හිත එකඟ කරගැනීම අපහසු බව භාවනාවට එළඹෙන උපාසක වරු පවසති. ඔවුනට බාධා කරනුයේද කාය,වාක් විඥාත්තියන්ය. අතිරික්ත වන කාය විඥත්තිය ඔවුන්ටද මනස කළඹවනු ඇත.

( සිදුහත් බෝසතාණන්වහන්සේ සිය රාජකීය ශරීරය, බලවත් සේ දුෂ්කර ක්‍රියා කරමින් නසා දැමූවේ මන්දැයි සිතා බැලීම වටී. )

රෙනේ ඩෙකාර්ට්ස් වැනි පුද්ගලයන්ට වුව අලස කයේ අතිරික්ත ශක්තිය මනස සක්‍රිය කිරීමෙන්ම සිතිවිලි උපදවති. මොළයෙහි බහුලව භාවිතා කරනු ලබන නියුරෝන පරිපථය වඩා ශක්තිමත් වන අතර නිතර අවදිමත්ව සිටිති. එබැවින් එහි වචන ඉපදීම බහුලය.  රෙනේ ඩෙකාර්ට්ස් විසින් සිතිවිලි උපදවා ගත්තා නොව වාක් විඥත්තිය විසින් උපදවන ලද සිතිවිලි ඔහු අතින් ලියැවුනා පමනි.

මම කියා කෙනෙකු නැතිවීමෙන් බටහිර විද්‍යාවද ව්‍යාකූල වනු ඇත.

මෙතෙක් කියනලද කරුණු අනුව සත්වයා කියා කෙනෙකු නැති බවද, ඇත්තේ භූත රූපයන්ගේ සකස් වීමක් පමණක් බවද, මම කියා පාලකයෙකු නැති බවද, ඇත්තේ චිත්තය සමඟ උපදින කාය වාක් විඥත්ති රූපයන්ගේ ක්‍රියා පමණක් බවද සිහියට එනු ඇත.

එසේ කොතරම් වාර ගණනක් අසා තිබුනද නොවැටහෙන්නේ විපල්ලාසයන් නිසාය. එනම් සත්‍යලෙස ඇතිදේ පරයා වෙනත් සංඥා මතු වන බැවිනි. සිතින් කුමක් සිතා ගත්තද කය රසායනිකව කටයුතු කරණ බැවිනි.

යම් තරුණ කාන්තා රුවක් දැක සිතින් කොතරම් පිළිකුල් භාවනා සිහි කලද, කාය විඥත්තිය සක්‍රියව රාගික හොර්මෝන මුදා හැර රාගික අවයව සක්‍රිය කරණ බැවිනි.

සැබවින්ම ඔබ් ඔබ්ම නොව. වරෙක කයේ වහලෙකි. වරෙක සිතේ වහලෙකි.

සිත, කය, වචනය

 සිත කය වචනය සංවර කළයුතු බව අසාගත්, දැනගත්, වටහාගත් කරුණකි. සිතද කයද වචනයද සංවර කලයුතු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම් බොහෝය. ඒ සියළු විස්තර අරමුණු කරගත් පිරිසට අනුව සුදුසු වේ. එහෙත් නිවන අරමුණු කරන යම් පින්වතෙකු වේනම්

සිත  –  සිතට මුල්වන චේතනාව

කය  –  කාය විඥත්තිය

වචනය  –   වාක් විඥත්තිය

සංවර කරගතයුතු වන්නේය. ආර්යය අෂ්ඨාංගික මාර්ගයට අනුව

සිතට මුල් වන චේතනාව  –  සම්මා කම්මන්ත

කාය විඥත්තිය    –  සම්මා ආජීව

වාක් විඥත්තිය     – සම්මා  වාචා

හා බැඳෙන බවද වටහා ගතයුතුය. සම්මා දිට්ඨිය නොලද අයෙකුට වුවද ඉහත පියවර අනුගමනය කළහැකි වනු ඇත.

පටිච්ච සමුප්පාද විස්තරය

‘පටිච්චසමුප්පාද’  යන වදන අප වටහා ගනුයේ ප්‍රත්‍යයන්ගේ  සම උත්පාදය ලෙසිනි. එනම් යම් කරුණක හටගැනීම සඳහා හේතුවන මූල හේතූන් (ප්‍රත්‍ය ) යම් එක් ක්ෂණයක පහලවීම (සම උත්පාදය )  ලෙසිනි.

පෙළ දහම අනුව,

1.අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වේ ( අවිද්‍යාව යනු සත්ව ජාන මත ආකර්ෂණය වන ගුණය, විෂම ලෝභය. සංඛාරය යනු තරංගයකි )

2. සංඛාරය  විඥාණයට ප්‍රත්‍යවේ ( අවිද්‍යාවද, සංඛාරයද එක්ව විඥාණය සමඟ සමව උපදී )

3. විඥාණය නාම,රූපයන්ට ප්‍රත්‍යවේ (විඥාණය සමඟම නාම රූපයන්ද උපදී. උපදින නාමයෝ චෛතසික නම්වෙති. රූපයෝ ලෙස විඥත්ති රූප යුගල සහ සෙසු අනිෂ්පන්න රූප උපදී )

4. නාම රූපය සලායතනයන්ට ප්‍රත්‍යවේ (විඥත්තිරූපයෝ බාහිර ගෝචර රූපයන් හා ගැටී ඇස, කණ ආදී ඉන්ද්‍රිය උපදවයි. එම ස්ථාන යන්හී ද වස්තු රූපය සක්‍රිය බැවින් ගෝචර රූපය ප්‍රත්‍යයෙන් සිත් උපදී )

විශේශ කරුණු

අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වන විඥාණය මූලික විඥාණයයි. එය භවංග සිත නමින්ද හඳුන්වා ඇත. මෙමෙ විඥාණය හෘදය රූපය මත සකස් වේ. අභ්‍යන්තර ස්නායු පද්ධතිය තුළ සක්‍රිය වේ. සලායතන මත ගෝචර රූපය ප්‍රත්‍යයෙන් හටගනු ලබන විඥාණය  භවය නමින් හඳුන්වාදී ඇත. මෙම විඥාණය බාහිර ස්නායු පද්ධතිය මත සක්‍රිය වේ.

5. සලායතනයෝ ස්පර්ශයට ප්‍රත්‍ය වෙති ( ඇස කණ ආදී ඉන්ද්‍රියයන්හි තිබෙන ප්‍රසාද රූපයෝ, ගෝචර රූපයේ ගැටීම ස්පර්ශය නම් වේ. )

6. ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙති. (වේදනාව නම්, ප්‍රසාදරූපය හා ගෝචර රූපය ගැටීමේ ප්‍රතිඵලය වේ. )

7. වේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍ය වේ. ( වේදනාව නිසා තෘෂ්ණාව හටගනී. )

8. තෘෂ්ණාව උපාදානයට ප්‍රත්‍ය වේ (තෘෂ්ණාව නිසා උපාදාන හටගනී )

විශේශ කරුණු

සත්වයාගේ ක්‍රියා ස්වභාවය පංච ස්කන්ධයකින් දක්වා ඇත. සත්වයා යනු යම් ස්කන්ධ පහකි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ යනු එම ස්ක්න්ධ පහ සඳහා භාවිත නම් ය. මේ වනවිට රූපය පිළිබඳව ඔබ් දැනුවත්ය. වේදනාව යනු රූප දෙකක ගැටීමකි. මුලින් කියන ලද අවිද්‍යාවගේ සහ අධි සංඛ්‍යාත සංඛාරයාගේ ගැටීම මින් අදහස් කෙරේ. සංඥාව යනු ගැටීමේ ඵලයයි. එය විදුලි සංඥාවක් මෙන් ගමන් කරණ යමක් නොව රූප සටහන බඳු සංඥාවකි. සංඛාරය යනු චේතනාවම වේ. චෛතසිකයන්ගේ සාමූහික කියාව මෙනමින් හැඳින්වේ. විඥානය පෙර කියා ඇති පරිදිය. බල ක්ෂේත්‍රයක් බඳුය.

මෙලෙස මූලිකව හඳුන්වාදෙන ලද්දේ  මූලික සිත මත සකස් වන පංච ස්කන්ධයයි. මෙම පංච ස්කන්ධය මධ්‍ය ස්නායු පද්ධතිය සක්‍රිය කරනු ඇත.

දෙවනුවද උපාදාන ස්කන්ධ නමින් ස්කන්ධ පංචකයක් නම් කර ඇත. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාණ උපාදාන ස්කන්ධය නමිනි. මෙලෙස නම් කෙරෙනුයේ බාහිර ස්නායු පද්ධතිය මත සක්‍රිය ස්කන්ධ ස්වභාවයන්ය. රූපය නම්, ප්‍රසාද රූප සහ ගෝචර රූපයන්ය. වේදනාව නම් ප්‍රසාද රූපයන්ගේ සහ ගෝචර රූපයන්ගේ ගැටීමයි. ඉතිරිය එහි ප්‍රතිඵල වේ.

බාහිර ස්නායු පද්ධතිය තුළ සක්‍රිය පංච උපාදාන ස්කන්ධ සහ පටිච්චසමුප්පාද විස්තරයෙහි අනුපිළිවෙල ගලපාගත් විට

ස්පර්ශය   =  රූප උපාදාන ස්කන්ධය

වේදනා   =  වේදනා උපාදාන ස්කන්ධය

තෘෂ්ණා   =  සංඥා උපාදාන ස්කන්ධය

උපාදාන  =  සංඛාර උපාදාන ස්කන්ධය ( චේතනාව = කර්මය )

භව        =  විඥාණ උපාදාන ස්කන්ධය

මේ අනුව තෘෂ්ණාව යනු බාහිර ස්නායු පද්ධතිය මත උපන් සංඥාවට නමකි. නො එසේනම්, සලායතන නිසා හටගත් සටහනට (සංඥාවට )  නමකි. සත්වයා සසර තුළ රඳවා ගන්නේ මෙම සංඥාව විසිනි. ( මෙය තවදුරටත් පැහැදිළි කිරීම ඉදිරි ලිපියකින් කෙරෙනු ඇත.)

9. උපාදානය භවයට ප්‍රත්‍ය වේ ( උපාදානය හෙවත් චේතනාවන්ගේ සකස්වීමට අනුව ‘භවය’ හෙවත් විඥාණය සකස් වේ.

10. භවය ජාතියට ප්‍රත්‍ය වේ ( භවය හෙවත් විඥාණය විසින් ප්‍රතිසංධිය සකස්කරයි )

11. ජාතිය ජාරා මරණාදියට ප්‍රත්‍ය වේ. ( ප්‍රතිසංධිය ලද රූපය, උපචය, සන්තතිය, ජරතා, අනිච්චතා ආදී ස්වභාවයන්ට යටත්ය  )

සත්වයා (මිනිසා )

අභිධර්මයෙහි එන පරමාර්ථ ධර්ම විග්‍රහයට අනුව මම කියා කෙනෙක් නැත, මිනිසා කියා කෙනෙක් නැත, සත්වයාද නැත. මෙසේ කරුණු සාධනය කිරීමෙහි අර්ථය විශ්වය ශූන්‍ය බව දැක්වීම නොවේ. ආත්ම වාදය පරාජය කිරීමය.  ආත්මය නමින් හැඳින්වියහැකි කිසිවක් හමු නොවෙතත් සත්වයා නමින් යම් නිර්මිතයක් හමුවේ. සත්වයා සත්‍ය ලෙසම පවතින්නකි. සත්වයා පවත්වන හේතුවනම් අවිද්‍යාව සහ තෘෂ්ණාවයි. අවිද්‍යාව සහ තෘෂ්ණාව උත්සාහයෙන් දුරු කරන තාක් සත්වයා සසරෙහි සිටී. තිලෝගුරු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ විසින් පටිච්චසමුප්පාදය දේශනාකොට වදාලේ සසරෙහි සත්වායා සිටින බැවිනි. එසේම අවිද්‍යාව  තෘෂ්ණාව පවතින බැවිනි. එසේම අවිද්‍යාව තෘෂ්ණාව දුරුකිරීමේ මඟක් අවශ්‍ය බැවිනි.

සසරෙහි සත්වයා නොවීනම් මෙවැනි දේශනා අවශ්‍ය නොවනු ඇත.

රැවටීම

රූපයක ආයුශ එක් ක්ෂණයක් පමණකැයි කීවද මිනිසෙකුගේ ආයුශ වසර සියයක් පමණ වේ. වසර දහස් ගණනින් පැරණි සෙල් පිලිම ආදිය අදද දකින්නට ලැබේ. මෙය වටහා ගතයුතු කරුණකි.

අභිධර්මයෙහි සඳහන් රූපය යනු ශක්ති ස්වභාවයකි. එය රූප ප්‍රවාහයක් බඳුය. ඇතිවෙමින් නැතිවෙමින් පවතින්නකි. රූපයක ආයුශ අවසන් වූ සැනින් නවක රූපය උපදී. මෙය රූපයේ සන්තතියයි. රූපයේ සන්තතිය නිසා සෑම මොහොතකම රූපය ඇතිසේ පෙනේ.

එක් ඉලෙක්ට්‍රෝනයක් වැනි ඉතාම කුඩා දෙයක වුවද රූප දහස් ගණනක් ඇත. ඉලෙක්ට්‍රෝනය පවතින්නේ එහි අඩංගු රූප සියල්ලම සමූහයක් ලෙස කටයුතු කරන නිසාය.

රූපයෝ තමාට පැවරුණු කෘත්‍යය නිසි පරිදි ඉටු කරන නිසා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන , නියුට්‍රෝන ආදිය නොවෙනස්ව පවතී. එබැවින් පරමානුව නොවෙනස්ව පවතී. එලස සියළු මූලද්‍රව්‍ය සහ සංයෝගද පවතී. රූපයෝ කෘත්‍යය මඟ හැරියේනම් පරමානුව විසිරී යනු ඇත, එවිට විශ්වයම විසිරෙ යනු ඇත.

ශාක තුළ හෝ සත්ව ශරීරයක පවතින රූපයෝ අරමුණ අනුව හැසිරෙති. සත්වයා පය ඔසවන විට සියළු රූප කලාපයෝ  අණ පිළිපදිමින් එසවෙති.

මෙලෙස විස්තර කෙරෙනුයේ රූපය පවතින බව ඇසට පෙනෙන හේතුවයි. එය සන්තති ඝණය, සමූහ ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මණ ඝණය නම් ඝණ සතරක් ලෙස හැඳින්වේ. මෙම ඝණ සතර නිසා භෞතික රූපය එලෙස පවතී.

රූපයෝ ඝණ සහරකින් වැසී පවතින නිසා පරමාර්ථ ධර්ම ඇසට නොපෙනෙන බව වටහා ගතයුතුය.

මෙලෙසම විශ්වයෙහි භෞතික ස්වභාවය පාලනය කෙරෙන න්‍යායයන් සතරක්ද ඇත.

ඒකත්ත නයය යනු යම් රූපයක ප්‍රතිසන්ධි ඵලය මව් රූපය හා සමාන රූපයක් වන බවය.

නානත්ත නයය යනු රූපය අතර නානාත්වයක් පවතින බවය.

අව්‍යාපාර නයය යනු යම් කෘත්‍යයක යෙදීමේ උවමනාවක් රූපයන්ට නැති බවය.

ඒවං ධම්මතා නයය යනු හේතුවට අනුවම ඵලය උපදින බවය.

මෙම න්‍යායයන් නිසාද විශ්වය ඇතිසේ අපට පෙනේ.

මෙලෙස ඇතිසේ දැනෙන පෙනෙන ලෝකය පිළිබඳව ප්‍රායෝගික තත්වය වසන් කරවන ගුණ කීපයක්ද ශරීරය තුළම ඇත. ඒ විපල්ලාස හෙවත් විපර්යාස ධර්මයන්ය.

සංඥා විපල්ලාසය, දෘෂ්ඨි විපල්ලාසය, චිත්ත විපල්ලාසය යනුවෙන් විපල්ලාස ධර්ම තුනකි. මෙම කරුණු අනුව විපර්යාසයට භාජනයවන  ගුණ සතරකි. ඒවානම්, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය යන පංච ස්කන්ධයන්ට අයත් ගුණ සතරය.

පංච ස්කන්ධයකින් සමන්විත සත්ව ශරීරය සත්‍ය ලෙසම අනිත්‍ය වූවකි. එය නිත්‍ය ලෙස වැටහීම සංඥා විපල්ලාසයකි. නිත්‍ය ලෙස සලකා සිතිවිලි ඉපදවීම චිත්ත විපල්ලාසයකි. නිත්‍ය ලෙස පවත්වාගැනීමට උපක්‍රම යෙදීම දෘෂ්ඨි විපල්ලාසයකි. ( උපක්‍රම යෙදීමට සිදුවන්නේ අනිත්‍ය නිසාය. “පුප්ඵං මිලායාති යථා ඉදං මේ” මල මැලවේ මටද එයම වේ යන වදන වටහාගන්නා බෞද්ධ පින් වතුන් රූප ලාවන්‍යාගාර වල පිහිට පතති -ඒ දෘෂ්ඨි විපල්ලාසය නිසාය. )

 විස්තර වශයෙන් ගත්කල විපල්ලාසයෝ 12දෙනෙකි. 

අසුබ වූ පංචස්කන්ධයාගෙන් සමන්විත කය සුබ ලෙස ගැනීම සංඥා විපල්ලාසයයි. හොඳ , වටිනා දෙයකැයි සිතීම චිත්ත විපල්ලාසයයි. ඒ කයට වැඩියෙන් මේ කය වඩා සුදුසුය, හොඳය, ගැලපේය ආදී ලෙස දැකීම දෘෂ්ඨි විපල්ලාසයයි.

මෙතෙක් කියන ලද්දේ තමා බුද්ධිමතෙකැයි කියමින් සිතමින් කටයුතු කරන මිනිස් වර්ගයා නිතිපතා, සෑම සිතිවිල්ලක් පාසාම රැවටෙන , ප්‍රඥාව වසා තබන ධර්ම සමූහයකි. ඒ, ඝණ සතර, නයය සතර සහ විපල්ලාස දොලසයි.

පෙර අවස්ථාවේදී අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය කියන ලද්දේ දැනගනීම පිණිසය. එය ප්‍රයෝජනයට ගතයුත්තේ ප්‍රතිලෝම වශයෙනි. එනම්, භවය දුරු කිරීමටනම් උපාදාන දුරු කලයුතුය. උපාදානය යනු සංඛාරය ලෙසද, චෛතසික ලෙසත, චේතනා ලෙසද කර්මය ලෙසද හැඳින්වියහැක. මේ කියන උපාදානය හෙවත් කර්මය අනුව ජීවිත රූපය, හෘදය රූපය සහ ඉන්ද්‍රිය රූප සකස් වන නිසා කර්මාණුරූපව තම මතු ජීවිතය, මතු භවය ආදිය සකස් වන බව වටහාගතයුතුය. උපාදානය යනු චේතනාවම වන නිසා, චේතනාව සකස් කර ගැනීමෙන් උපාදානය යම් තරමකට හෝ පාලනය කල හැකි වනු ඇත.

උපාදානය දුරු කිරීමට නම් තෘෂ්ණාව දුරු කල යුතුය. තෘෂ්ණාව යනු සංඥාව බවද, එම සංඥාව, සංඥාවිපල්ලාසයකින් වැසී ඇති බවද ඔබට වැටහෙනවා ඇත.

තෘෂ්ණාව දුරු කිරීමට වේදනාව දුරු කල යුතුය. වේදනාව යනු ප්‍රසාද රූපයේ සහ ගෝචර රූපයේ ගැටීමේ ඵලයයි. ඵලය දුරු කිරීමට නම් ගැටීම හෙවත් ස්පර්ශය දුරු කලයුතුය.. යම් බාහිර උපක්‍රම යෙදීමෙන් ආලෝකය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය ආදී ගෝචර රූප පාලනය කලහැක. මෙලෙස ගෝචර රූපයාගේ ගැටීමෙන් ඉවත්ව සිටීම තෘෂ්ණාව දුරු කිරීමට උපකාරයක් වුවද ප්‍රමාණවත් නොවේ. එහෙට් පටිච්ච සමුප්පාදය බිඬ්හ්දැමීමේ යතුර සැඟවී ඇත්තේ මෙතැනය. මෙම පියවරෙහි උත්සහ කිරීමෙන් ස්පර්ශයද, වේදනාවද, තෘෂ්ණාව ද දුරු කළහැකි වනු ඇත.

තෘෂ්ණාව

තෘෂ්ණාව යනු බැඳීමය. අවිද්‍යාව යනු බැඳීමය. විෂම ලෝබය නමින්ද හැඳින්වේ. ලෝබය යනු බැඳීමය. බැඳීම අර්ථයෙන් ගත්කල තෘෂ්ණාව, අවිද්‍යාව, ලෝභය සම අර්ථ ගන්නේ වුවද එම ධර්මයන්ට අනන්‍ය වූ ලක්ෂණ ද ඇත. ලෝභය චෛතසික ධර්මයකි. අවිද්‍යාව ජාන සැකැස්ම මත හටගනී. එය මධ්‍ය ස්නායු පද්ධතිය හා සම්බන්ධය. තෘෂ්ණාව සම්බන්ධ වන්නේ බාහිර ස්නායු පද්ධතිය සමඟය.

බාහිර ස්නාය පද්ධතිය හා සම්බන්ධව සිත් උපදවන ස්ථාන සයකි. ඒ සලායතනයයි. ඇස, කණ, නාසය, දිව, සම සහ මනසයි. මෙහි මනස පමණක් අභ්‍යන්තර ඉන්ද්‍රියකි. සලායතන මත ප්‍රසාද රූප ඇත. එම ප්‍රසාද රූප මත අදාල ගෝචර රූපය පතිතවීමෙන් ස්පර්ශයද, වේදනාවද වී තෘෂ්ණාව නම් සංඥාව උපදී.  චෛතසික සකස්වී සිත් උපදවන්නේ මෙකී සංඥාවය.

සලායතන නිසා උපදින සංඥාව විශේශ ගුණ සහිතය. එම සංඥාව විපල්ලාස ගුණ සහිත නිසා සෑම කල්හීම සත්‍යය වසන්කෙරෙන සිත් සහ සිතිවිලිම උපදී. සත්වයාඅ මිහිර විඳින්නේද, කුමන සත්ව භවයක් ලැබුවද එම මිහිරම විඳින්නේඩ, සත්වයා මත භවයට පමුණුවන්නේද මෙකී සංඥා විපල්ලාසය විසිනි. එනම් තෘෂ්ණාව විසිනි. එබැවින් තෘෂ්ණාවේ ගුණ ලෙස

පෝනෝ භවිකා ( මතු භවය ලබා දීම  )

නන්දිරාග සහගතා ( මිහිර සහිත බව  )

තත්‍ර තත්‍රාභිනන්දිනී  ( ලැබෙන ලැබෙන භවයෙහි ඇලුම් කිරීම ) දක්වා ඇත.

සත්වයා මිනිස් භවය ලද විටෙක ආහාර ලැබීමෙන් මිහිරද, ස්ත්‍රිය දැකීමෙන් රාගයද උපදවා ගනී. ඔහුම අශ්ව භවයකට පත්වීමන් මිනිස් ආහාර හෝ ස්ත්‍රිය මිහිර නොවේ. ලා දළු ලැබීමෙන් මිහිරද, වෙළඹ දැකීමෙන් රාගයද උපදවා ගනී. ඔහුම මමත්ස්‍යයෙකුව භවය ලැබීනම් රාගය උපදවන්නේ මැසින්න විසිනි.  සෑම අවස්ථාවකදීම මිහිර සහ රාගය සමානය. නමුත් ඊට පාදක වන සංඥාව පමණක් වෙනස් වේ. වෙනස් සංඥාව සකස් කෙරෙනුයේ තෘෂ්ණාව විසිනි.

සංඥාව විපල්ලාස වීම නිසා චිත්තයද, දෘෂ්ඨියද විපල්ලාස වේ. සමහරෙකු දෘෂ්ඨිය නිවැරදි කර ගැනීමෙන් තෘෂ්ණාව බිඳිති. තෘෂ්ණාව එලෙසින්ම දැකියහැක්කේ බුදුනෙතකට පමණි. ස්පර්දය දුරු කිරීමෙන් තෘෂ්ණාව දුරු කිරීම තවත් ක්‍රමයකි. මේ සඳහා කළයුත්තේ බාහිර ස්නායු පද්ධතිය හා අභ්‍යන්තර ස්නායු පද්ධතිය එකිනෙකින් වෙන් කිරීමය.

ස්නායු පද්ධති එකිනෙකින් වෙන්කිරීම මහ අරුමයක් නොවේ. අප සෑම දිනකම ගැඹුරු නින්දේදී අත් විඳින තත්වයයි. සත්වයා ගැඹුරු නින්දට පත් විට සලායතන අක්‍රියව පවතී.

නින්ද හිමි අපට නිවන අහිමි කලෝ කවරහුද

නිවන වසා සිටිනුයේ නීවරණ ධර්ම විසිනි. අප නින්දට පත්වීමේදී ථින මිද්ධ නීවරණය සක්‍රිය වීම නිසා නිවන නොදැනී නින්ද ලබනු ඇත.

චිත්තය යනු අපගේ කය වටා පවතින ඕරාව හෙවත් මනෝකාය හෙවත් බල ක්ෂෙත්‍රය බව පෙර කියන ලදී. එම ඕරාවෙහි සංඛ්‍යාත අනුව ක්‍රියා ස්වභාවයන් 5ක් පිළිබඳ දැනුම විද්‍යාඥයන් සතුය. ඒ අනුව,

ගැමා අවස්ථාව  – හර්ට්ස් 45ට වැඩි – ධ්‍යාන ඵල

බීටා අවස්ථාව – හර්ට්ස්  15 සිට 25 දක්වා – විචිකිච්චාව, ව්‍යාපාදය

ඇල්ෆා අවස්ථාව  –  හර්ට්ස්  10 සිට 15 දක්වා  – කාම චන්දය

තීටා අවස්ථාව  –  හර්ට්ස් 5 සිට 10 දක්වා  –  ථින මිද්ධය – නොගැඹුරු නින්ද ( සිහින දකින් අවස්ථාව  )

ඩෙල්ටා අවස්ථාව  – හර්ට්ස් 0.5 සිට 5 දක්වා  –  ගැඹුරු නින්ද

වර්තමානයේ දී අපරටේ බහුතර ජනතාව අවදිව සිටින කාලයෙන් වැඩි ප්‍රමාණය ගෙවනුයේ බීටා අවස්ථාව හෙවත් ව්‍යාපාද සිත සක්‍රිය සීමාව තුළය. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතා කරන විටදීද සංඛ්‍යාතයෙහි ඉහල යාමක් වනුඇත. ව්‍යාපාද කලාපයෙහි දිවි ගෙවීම නිසා ප්‍රතිශක්තිය අවම වීම සහ මොළයෙහි ඇති “ග්‍රේ මැටර්” ප්‍රමාණය හීන වීම සිදුවේ. එය බුද්ධි ඵලය අඩු වීමට හේතුවකි. ළදරුවෙකු උපතින් ලබන “ප්‍රභාස්වර සිතෙහි” ග්‍රේ මැටර් ප්‍රතිශතය 100%කි. උපාදාන වර්ධනය වීමෙන් එම ප්‍රමානය පහල යනු ඇත.

යම් වින්දනීය අවස්ථාවකදී සංඛ්‍යාතය පහල යනු ඇත. බුද්ධ පූජා, බෝධි පූජා, පිරිත් පින්කම් ආදියට සහභාගි වීමෙන් සංඛ්‍යාතය පහල යන නිසා සිතට සහනය දැනේ. ‘සිතක නිවීම යනු සංඛ්‍යාතය පහල යාමය. ඉහත අවස්ථා සහ පොත්  කියවීම  වැනි සිත නිසල අවස්ථාවකදී ඇල්ෆා හෙවත් කාමචන්ද අවස්ථාව ක්‍රියාත්මක වේ. ඇල්ෆා අවස්ථාවේ දී බුද්ධිය ක්‍රියාත්මක වේ. ප්‍රතිශක්තිය වැඩේ.

භාවනාවක යෙදෙන විට තීටා අවස්ථාව ලැබේ. ථින මිද්ධය සක්‍රිය වන නිසා නිදිමත දැනේ. ඉන් අනතුරුව නින්දට පත්වන නිසා නිවන ම්ඟහැරේ.

නිවන සොයන අය ථින මිද්ධ නීවරණය දුරු කළයුත් නමුත් වඩාම  දුෂ්කර කාර්යය වන්නේ එයයි. සමාධිය වැඩෙන විට නිදිමත එයි. නිදිමත දුරු වනලෙස වීර්යය වඩන විට සංඛ්‍යාතය ඉහලයයි.  එවිට සමාධිය දුර්වල වේ. ඉතාම දුෂ්කර කාඅර්යය වන්නේ සමාධිය සහ වීර්යය සමතුලිතව පවත්වා ගනිමින් සංඛ්‍යාතය පහල දැමීම හෙවත්,වීර්යය සමඟින් සමාධියෙහි ගැඹුරට යාමය. මෙම කඩඉම ජයගත් තැනැත්තා අවදියෙන් සිටිමින් ඩෙල්ටා අවස්ථාව අතික්‍රමනය කොට අභ්‍යන්තර ස්නායු පද්ධතිය සහ බාහිර ස්නායු පද්ධතිය අතර සම්බන්ධය බිඳී. ආර්යය ශරීරයක හිමිකරුවෙකු වෙයි. උන්වහන්සේ රතතුන්වහන්සේ නමකි. චුල්ලපන්ථක සාමනේරයෝ දහම නොදත්තෙකි. ශාසනයෙන් නෙරපීම නිසා දුකට පත්ව හඬමින් සිටියේ ව්‍යාපාද සිතිනි. බුදුරජාණන්වහන්සේ ගෙන් උපදෙස් ලබා භාවනාවට පිවිසියේ කාමචන්ද ඇල්ෆා අවස්ථාවෙනි. ‘රජෝ හරණං’ කියමින් භාවනාවට එළඹ සිහනිවා ගනිමින් තීටා අවස්ථාව පසුකොට ථිනමිද්ධය බිඳ දමා උතුම් රහත් ඵල ලැබීය. මේ කථාව බුදුරජාණන්වහන්සේගේ ශ්‍රෂ්ඨත්වය කියා පාන්නකි.

මෙතෙක් ඔබට තෘෂ්ණාව බින්දීම සහ  ඊට අදාල ක්‍රියාමාර්ග කීවෙමු. දෘෂ්ඨිය බින්දීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග අපගේ ” සෝවන් ඵලය ලැබීමට” යන ලිපියේ දක්වා ඇත. අවිද්‍යාව බිඳ දමන්නේ කෙසේදැයි සලක බලමු.

සෑම අකුසල සිතකම ‘අවිද්‍යා, උද්දච්ච, අහිරික ,අනොත්තප්ප’ යන චෛතසික සතර යෙදෙනු  ඇත. සමාධිය වැඩීමෙන් උද්දච්ච චෛතසිකය ප්‍රහානය වීමෙන් අවිද්‍යාවද අක්‍රිය වී යනු ඇත.

සමාධිය වැඩීම පිළිබඳ විස්තර අපගේ මුහුණුපොතේ පිටුව වන ‘සවිතක්ක සමාජය’ පිටුවෙහි චිත්තය සහ චෛතසිකය පාඩම් පෙල අවසානයේදී විස්තර සහිතව ඉදිරිපත් කරනු ඇත. මන්ද ඊට චෛතසික පිළිබඳ දැනුම අවශ්‍ය බැවිනි.

“සවිතක්ක.නෙට්” අපගේ අභිප්‍රාය වන්නේ මාර්ග ඵල ලාභී සැදැහැවතුන්ගෙන් ලක් මවුන් සැරසීමය. සැදැහැවතුන්ගේ දහම් ගැටළු විසඳා දී මාර්ග ඵල ලාභය අත්කර දීමට  සැදී පැහැදී සිටිමු. යම් පැණයක් වෙතොත් යොමු කරන මෙන් කළණ මිතුරු භාවයෙන් ආයාචනා කර සිටිමු.

ලිපිය ට පහලින් සන්න ලියන සැමගේ විද්යුත් ලිපිනයන්ට පෞද්ගලිකව අමතා වටිනා දහම් ත්‍යාගය ලබාදීමට  අප සැදී පැහැදී සිටිමු.

සම්මා සම්බුදු සරණයි…