සැප විඳීම නැත්නම් සුව විඳීම කියන්නෙ කම්සුව විඳීමට. කාම සුවයට හේතුවෙන පංච කාමයක් තියෙනවනෙ. රූප කාමය, සද්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ෂ කාමය කියල.

කම් සුව විඳීම ගැන යෝග ඉගැන්වීම් වල කියනව ‘පංච ම-කාර’ ප්‍රතිපත්තියක්. මත්ස්‍ය, මාංශ, මද්‍ය, මුද්‍රා,මෛථුන අනුභවයෙන් සුව උපදින බව කියනව. මෙහෙම කියන්නෙ වාම මාර්ගය. මේ සියල්ලෙන් මිදුනු දක්ෂිණ මාර්ගයක් තියෙනව පැවිදි යෝගීන්ට.

පුරාණ ආයුර්වේදයෙත් ‘සද් චක්‍රය’ යෝජනා කරල තියෙනව සුවෙන් සිටින්න.

අපේ බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාලෙ නිවන සොයන අය පංච කාමයෙන් මිදියයුතු බවයි. ජීවිතය සොයන අය මුළින් ජීවිතය විඳ, කර්මය කර්ම ඵලය දැනගෙන නිවන සෙවියයුතුයි.

ඔයාට කැමතිම විදිහට ඇස, කණ ආදී පංච ඉන්ද්‍රිය පිනවන ආකාරය ගැන කලින් කතා කලානෙ. ඒ විදිහට තමන්ගෙ සතුට පරීක්ෂණ කරල දැනගන්න. මෛථුන මිහිර එහෙම නැත්නම් සුරතාන්තය තමයි මිනිස් ශරීරයකින් ලැබෙන උපරිම මිහිර වෙන්නෙ. මිහිර උපරිම වෙන්න නම් ගැලපෙන දෙදෙනෙක් එකතුවීම අනිවාර්ය්‍යයි. මේ කිව්වෙ මිනිස් සැප ගැන.

දැන් බලමු දෙව් සැප ගැන. දෙව් සැප කියන්නෙ දිව්‍ය ලෝකෙදි ලැබෙන සැප. ඔය කියන දිව්‍ය ලෝකෙදි තියෙන්නෙත් පංච කාම සුවයම තමයි. ප්‍රිය රූප, මිහිරි නාද, මිහිරි සුවඳ, රස ආහාර, සිනිඳු පහස මේ දෙවල් ඉතාම සුලබයි. එහෙදි ඉන්ද්‍රිය පිනවීම ඉතාම පහසුයි. මිනිස් ලෝකෙත් ඔය දේවල් තියෙනව, හැබැයි මිළ අධිකයි. ලබාගැනීම දුෂ්කරයි. එහෙ එකදෙයකින් නම් වෙනස්, එක දෙවියෙකුට දිව්‍යාංගනාවො දහසක් උනත් ලැබෙනව. මෙහෙදිනම් එක්කෙනෙක් විතරනෙ.

අපේ බුදුරජාණන්වහන්සෙ අපිට දේශනා කලේ ඒ එක දිව්‍යාංගනාවක් ඉන්න දිව්‍ය ලෝකයක් තනාගන්න විදිහ. අහල ඇතිනෙ දෙවියෙක් සහ දිව්‍යාංගනාවක් අතර විවාහය ගැන කල දේශනාව.

සවිතක්ක.නෙට් අපි ඔයාලට යෝජනා කරන්නෙ තමන්ගෙ පුංචි දිව්‍යලෝකයක් තනාගෙන ඉන්න විදිහ. අපි මුළින්මත් කිව්වනෙ, තරුණවියට ආශ්වාදය කියල දෙනව කියල.

දැන්කාලෙ සමහරු දෙව් ලොව යන්න කැමති නෑ. එහේ තවමත් තියෙන්නෙ කරත්ත. බෙන්ස්, බුගාටි, ලැම්බෝගිනි එහෙ නෑ. සෙල් ෆෝන්, ටැබ්, ලැප්ටොප් නෑ. ලොකුම අඩුව තමයි එෆ්බී, යූ ටියුබ් නැති එක. අඩුම ගානෙ ඉන්ටර්නෙට් වත් නෑනෙ. එහේ ලොකු බිස්නස් නෑ, ලොකු රස්සා නෑ. අඩුගානෙ දොස්තර කෙනෙකුට චැනල් එකක්වත් කරගන්න බෑනෙ. ලෙඩ්ඩු නෑනෙ. ඉතින් එහෙට වඩා මෙහෙ හොඳයි නේද. කාන්තාවකට නම් එහෙ ගිහින් වැඩක්මනෑ, බිරින්දෑවරු දහසක් අතරෙ එක්කෙනෙක් වෙන්න එහෙ යන්නෙ මොකටද. මෙහෙදි පුංචි දිව්‍ය ලෝකයක් හදාගත්තහම එකම දෙවියෙකුගෙ එකම දිව්‍යාංගනාව වෙලා මොනතරම් සතුටින් ඉන්න ලැබෙනවද.

අපි ඔයාට විහිළුවක් කලා නෙවෙයි, අපේ බුදුරජාණන්වහන්සෙ කිසිම වෙලාවක දිව්‍යලෝකෙ වර්ණනා කලේ නෑ.  සෑමවිටම වදාලෙ අප්‍රමාදීව නිවනට යන්න කියලයි.

බුදුදහමට අනුව ජීවිතය සකස් කරගත් අය මෙලොව දීම දෙව් සැප ලබනව. දෙව්ලොව ගැන කලින් කියපු දෙයින් වෙනස් අර්ථයකුත් ලැබෙනව. දෙව් සැප කියන්නෙ ඇස, කණ ආදී පන්ච ඉංද්‍රිය පිනවීම. විභාග පාස් වීම, ලොකු ඉස්කෝලකට යාම, පිටරට ගිහින් ඉගෙනගැනීම, ලොකු රස්සවක් කිරීම, වතුපිටි, රථ වාහන ගැනීම, ලොකු හෝටල් වලින් ආහාර ගැනීම දිව්‍ය සැප සම්පත් නෙවෙයි.

තමන්ටම කියල දෙවියෙක්, දිව්‍යාංගනාවක් සොයාගත්තොත් පුංචි පැලක් උනත් දිව්‍ය ලොකයක් වෙනව. ඒ දෙවියා තමංගෙ දිව්‍යාංගනාවගෙ රූපය දැකල සතුටු වෙනව. කටහඬ අහල සතුටු වෙනව. ඇයගෙ සුවඳ විඳල සතුටු වෙනව. ඔයා දන්නවද, හාදු දෙන වෙලාවට මුවින් මුවට හුවමාරුවෙන ඛෙටය නිසා මොළයේ රසායනික වෙනස් කම් සිදුවෙලා බැඳීම වැඩි කරනව කියල. ඉතින් අර දෙවියා තම දේවියගෙ රසය නිසාත් සතුටු වෙනව, ඇයගේ පහසින් ඉතාම සතුටු වෙනව. මේ කිව්වෙ ඉන්ද්‍රිය පහ ගැනනෙ. ඒ විහරක් නෙවෙයි, ඇයගේ ආදරය ලැබිල සයවන ඉන්ද්‍රිය වන මනසත් සතුටු වෙනව. දිව්‍යාංගනාවට දැනෙන සතුටත් මේ විදිහමයි.

අපේ බුදුරජාණන්වහන්සේ අපට පෙන්වාදී වදාලා, මළමිනී දෙකක් අතර විවාහය සහ එක අයෙක් මිනියක් වුනුවිට විවාහය පිළිබඳවත්. මොනතරම් ධනය තිබුනත්, මහ මාලිගාවක වාසය කලත් එක් අයෙක් මළ මිනියක් උනොත් ඉතින් විවාහ ජීවිතයම අපායෙ තමයි.

මේ කාලේදි ගොඩක් ජනප්‍රිය ‘විශ්ව ආකර්ෂණ නීතිය’ නම් සංකල්පය ගැන ඔයා අහලත් ඇති. ඒ සංකල්පයට අනුව පීඩිත මිනිසුන්ට විශ්වයේ සහය ලැබෙන්නෙ නෑ, සහය ලැබෙන්නෙ තෘප්තිමත් මිනිසුන්ට, ස්තූතිවන්තවන මිනිසුන්ට. ඉතින් ඔයා මහා ලොකු දේවල් නොසොයා තෘප්තිමත් විවාහ ජීවිතයක් සකස් කරගන්න. විශ්වයේ සහයත් ඔයාට ලැබෙයි.

රජ සැප කියල සැප ජාතියක් ගැනත් මිනිස්සු හීන දකිනවනෙ. මොනවද රජ සැප කියන්නෙ. ටිකක් හිතල බලන්න, දුටුගැමුණු රජතුමාගෙ රජ මාලිගාවට වඩා අද කාලෙ ජීවත්වන ඔයාගෙ ගෙදර හොඳ නැද්ද. අවසාන රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙ මාලිගාවෙ නොතිබුනු පහසුකම් ඔයාගෙ ගෙදර නැද්ද. රටේ මාර්ග පහසුකම්, ප්‍රවාහන පහසුකම් මේ කාලෙ මොනතරම් හොඳද.  ඒකාලෙ රජවරුන්ට අන්තඃපුර තිබුන. මේකාලෙ ජපානෙ, තායිලන්තෙ, බෙල්ජියමෙ, බ්‍රිතාන්‍යයෙ රජපවුල් හිටියට ඒ අයටත් එහෙම පහසුකමක් නෑ. අන්තඃපුර සංකල්පය ලෝකයෙන් බැහැරවෙල ගිහින්. රජ ප්පවුල් වලට ධනය සහ කීර්තිය තියෙනව. වෙනත් ධනවතුන්ටත් ඒ ලෙසටම ඒ දේවල් ලැබෙනව.

අපි සොයා බලන්නෙ හිතින් මවාගත් අභිමානය ගැන නෙවෙයි. පංච ඉන්ද්‍රියට දැනෙන සංවේදන ගැන. රජ බිසවටත්, වැදි බිරිඳටත් දැනෙන ප්‍රසව වේදනාව එක සමානයි. වෛද්‍ය සහය වෙනස්, ඒත් ඒ වෛද්‍ය කණ්ඩායම අර විඳින වේදනාව බාරගන්නෙ නෑ. ඒනිසා මව් පදවියේ උත්තම භාවයට වෙනසක් නෑ.