පෙර ලිපිවලින් කිව්ව්වෙ, විවාහ වීමේ අවශ්‍යතාවය ගැනනෙ. විවාහයට සුදුසු කෙනෙක් සොයාගැනීම ගැනත් ටිකක් සොයා බලමු. ඔයා සොයන එක්කෙනාගෙ වයස, රැකියාව, පවුල් පසුබිම ආදී සමාජයට වැදගත් කාරණා ගැන ඔයාගෙ සමාජ පසුබිම අනුව තීරණය කරගන්න. සමාන ශර්‍රෙර ස්වභාව සහිත දෙදෙනෙක් තමයි විවාහයට සුදුසු කියන කාරණාව අමතක කරන්න එප..

විවාහය කියන්නෙ නෛතික ගිවිසුමක්නෙ. එවැනි ගිවිසුමකට ආදරය අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි. ගිවිසුම් ගත දෙදෙනාම ගිවිසුමට අනුව දිවි ඇතිතෙක් කටයුතු කරනවානම් කිසිම ගැටළුවක් නැහැ.

අපේ බුදුරජාණන්වහන්සේ, සිංගාලෝවාද සූත්‍ර දේශනාවෙදී , නෛතික විවාහයකදී ඉටුකලයුතු යුතුකම් පිළිබඳව වදාරා තියෙනව. නමුත්, අපේ ශාස්තෲන්වහන්සේ තමයි, මිනිස් ඉතිහාසයේ කියවෙන දීර්ඝතම පෙම් කතාවේ ප්‍රේමවන්තයා වෙන්නෙ. කාලය, අසංක්‍ය කල්ප හතරක් තරම් දිගයි. ආරම්භ වෙන්නෙ දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලබපු දා ඉඳල. මේ පෙම් කතාව ‘යසෝදරා වත’ පොතෙන් හරි, මහචාර්‍ය සුනිල් ආරියරත්න ශූරීන් නිර්මාණය කළ ‘යසෝදරා’ චිත්‍රපටියෙන් හරි බලාගත හැකියි.

ඉතින් එවැනි සුන්දර ප්‍රේමවන්තයෙක්, ප්‍රේමයට තහංචි දමයිද. ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් කියන දේශනා රටාව අනුව, ප්‍රේමයේ ආදීනව ලෙස ශෝකය සහ භය උපදින ආකාරය පෙන්වාදුන් බව ඇත්ත. එයින් ප්‍රේමයට තහංචි පැනවීමක් වෙන්නෙ නැහැ. ප්‍රේමය නිසයි ජීවය උපදින්නෙ.

සිදුහත් කුමාරයා යසෝදරා කුමරිය ලබාගැනීමේ උවමනාවෙන්  ශිල්ප දැක්වීමකුත් කලා. එහෙම කලේ ඇයට තිබුනු ආදරය නිසයි. එම යුවල අතර පැවතුනේ අනුරාගී ආදර බැඳීමක්. ඔවුන්ට පුත් කුමරෙකුත් ලැබුනා.කල්ප කාලයක් තිස්සෙ භවයෙන් භවයට ගලා ආපු ඔවුන්ගේ පෙම් කතාවට විශ්වයෙනුත් ආශීර්වාදය ලැබුනා. ඒනිසා සෑම භවයකම ඒ අය හමු වුනා විවාහ වුනේ නැති උනත්. එවැනි උත්තුංග ප්‍රේම බන්ධනයක් බිඳින්න කාටවත්ම බෑ, විශ්වයත් බයයි එහෙම වෙනවට. අන්න ඒ නිසයි එදා අභිනිෂ්ක්‍රමණය සිදුවුනු මොහොතෙ මිහිකත කම්පාවුනේ.

ඔයාටත් එහෙම ප්‍රේම බන්ධනයක් හදාගන්න අවශ්‍ය උපදෙස්, අපේ බුදුරජාණන්වහන්සේ විසින්ම වදාරලා තියෙනව. ( ඒ ගැන ඉදිරි ලිපියකින් කියන්නම්)

ප්‍රේමයට අකමැති ශාස්තෲ වරයෙක් නම්, ඒ ගැන කථා නොකර ඉඳීවි. ඒත් අපේ බුදුරජාණන්වහන්සේ එහෙම කලේ නැහැ. අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ජීවිතය සුව විඳින හැටි කියල දුන්න.

තවත් විශේශ පෙම් කතාවක් තියෙනව, පිප්ඵලී මානවකයා සහ  භද්දාකාපිලානි කුමරියගේ කතාව. මේ දෙදෙනාත් මහධනවත් සිටු පවුල් වලයි ඉපදිලා හිටියෙ. මේ දෙදෙනාගේම මතය උනේ විවාහ නොවී තරුණ කාලේදිම පැවිදිවීම. ඒ උනත් යෝජනාවකට අනුව දෙදෙනා හමුවුනු වහාම සංසාර ගත ප්‍රේමය ඉස්මතු වෙලා ඒ අය විවාහ උනා. මේ, ප්‍රේමයම පමණක් තිබුනු, අනුරාගයෙන් තොර විවාහයක්. “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි’ කියනවනෙ.

ටිකකාලෙකින් මේ යුවල ගිහිගෙයින් නික්මුනා. ඒත් දෙන්නම ඉන්නෙ එකට. පැවිදි වෙස් ගත්ත, ඒත් දෙන්න ඉන්නෙ එකට. යුවලක් විදිහට එකට ඉඳීම පැවිද්දට කැළලක් නිසා අවසානයේදි දෙන්නා වෙන්වෙලා දෙමඟක යන්න තීරණය කලා. මේ කතාව අහල විශ්වයම භය බීරාන්ත උනා. අන්ත අසරණ උනා. මොකද, විශ්වය පවතින්නෙ ආදරය නිසා. ආදරය නැතිදාක විශ්වයම මියයනව. ඉතින් එදාත් ගහකොල මැලවුනා, මල් පෙති බිම වැටුනා, සත්තු හඬ තැළුව. විශ්වයේ ආයාචනය නොතකා මේ යුවල වෙන්වෙන තැනට ආව.  විශ්වය අසරණයි, වෙන්වීම වලක්වන්න බැහැ, මහපොළොව සැළුනා, වෙන කවදාවත්ම නැති තරම්. කොයිතරම්ද කියනවනම්, ලොව්තුරා බුදුනෙත හරවන්නට තරම්. එ අනුව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙරමඟට වැඩියා, මේ සුපිරි ප්‍රේමවන්තයාව පිළිගන්න අදහසින්, වෙන කිසිම දාක නොවූ විරූ බුද්ධ රශ්මි ධාරා සමූහයක් සමඟින්.

මේ කතාව කියවන ඔයා කොල්ලෙක් නම්, ඔයාට තේරෙනවද, අහසෙ තරුවක් හොයනවට වඩා, පොළොවෙ කෙල්ලෙක් හොයාගන්න එක වටිනව කියල.

සෑම සත්ව වර්ගයකම වැඩුනු ස්ත්‍රී පුරුෂ සතුන් අතර සම්බන්ධතා ඇතිවෙනව. ඒ විදිහට තමයි එයාලා තම වර්ගයා බෝ කර ගන්නෙ. ඒ අය සම්බන්ධතා ඇතිකරගන්නෙ තමන්ට ඇතිවන රාගික හැඟීම් ප්‍රකාශ කිරීමෙන්. තමන්ට රාග සිතක් ඇතිවුනාම, කුරුළු කිරිල්ලියො ගී ගයනව, මොනරා නැටුමක් නටනව, සමහර සත්තු සකාරියක් කැඳවන හඬක් නගනව, කෘමී සතුන් විවිධ සුවඳ ඇති පෙරමෝන නිකුත් කරණව. මිනිස්සු නම් තමන්ට රාග සිත් ඇතිවෙන්නෙ නෑ වගේ ඉන්නව. කැමති කෙනෙක් තෝරගෙන ‘ආදරෙයි’ කියල කියනව. ඒත් ඒ වචනය තුළ තමන්තුළ උපන් රාගය මිස අනුන් මත පැතිරුණු ප්‍රේමයක් නැහැ.

තරුණයො තමන් කැමති රුව ඇති තරුණියකට තමන්ගෙ ‘බොරු ආදරය’ කියනව. ඒත් තරුණිය පිළිගන්නෙ නෑ. එයින් පසුබට නොවන කාමාතුර පිරිමි, ආයාචනා කරනව, බලපෑම් කරනව, හිරිහැර පවා කරනව. තරුණියට ආයාචනා කරණ තරුණයින් පිරිස අතරින් වැඩි ප්‍රතිශක්තිය ඇතිබව දැනුන කෙනාව යම් දවසක තෝරගන්නව. කොහොම උනත් අවසාන තීරණය ගන්නෙ තරුණිය විසින්.

මේ නව යුවල හමුවෙලා කතා කරන විට ඔවුනොවුන්ගෙ ඇස් ගැටෙනව. ඇසින් ඇස බලා සිටිනවිට මොළය තුල ‘සෙරටොනින්’ නම් රසායනිකයක් හටගන්නව. ඒ තමයි රසායනික ආදරය. සෙරටොනින් බැඳීම නිසා දැන් ඔවුන් සැබෑ පෙම්වතුන් වෙනව. එකිනෙකා නොදැක ඉන්න බැරි වෙනව. ඒ කාලෙට තරුණිය කියනව “ඉස්සරනම් මට එයාව පේන්නවත් බෑ, මොනව උනාද මන්ද දැන්නම් එක දවසකටවත් නොදැක ඉන්න බෑ” කියල. ඇතටම උනේ සෙරටොනින් බන්ධනයක් ඇතිවීම. විවාහයක් සිදුවෙන්න මවැනි බැඳීමක් ප්‍රමාණවත්.

සෙරටොනින් බැඳීම තාවකාලිකයි. මිනිසෙකු තුළ හටගත් සෙරටොනින් බැඳීමක් වසරක් දෙකක් තුළ වියැකෙනව. නන්දා මාලිනිය ගයන “මගේ සඳ ඔබ…’ ගීතයෙන් මේ කාරනාව පැහැදිලි වෙනව. සමහර සත්තු වර්ග ඉන්නව, කවමදාකවත් සෙරටොනින් මට්ටම අඩු නොවන. ඒ සත්තු යුවලක් කිසිදාක වෙන් වෙන්නෙ නෑ, එක්කෙනෙක් මියගියොත් අනෙකා තනිවම ඉතිරි කාලය ඉන්නව. විද්‍යාඥයො කියන්නෙ, වෝලා කියන කාන්තාර මී වර්ගය, බැබුන් සත්තු, ඇල්බට්‍රොස් කුරුල්ලො එහෙම එවැනි ස්ථිර පෙම්වතුන් කියල. ඒ අතින් මිනිස් වර්ගය හරිම නරකයි, දිවි පුදා ආරම්භ කරණ සත්‍ය ප්‍රේමය උනත් පවතින්නෙ ටික කාලයයි.

සිදුහත් – යසෝදරා, පිප්ඵලී –  භද්දාකාපිලානි වගේ සසරේ පතාගෙන ආ පෙම්වතුන් ලෝකෙ කොහේ ඉපදුනත්, ඒ අයව මුනගස්සන්න විශ්වය වගබලාගන්නව. එවැනි පෙම් යුවලක් වෙන් කරන්න විශ්වයටවත් බෑ. ‘ද ලයිෆ්’ සඟරාවෙ එවැනි සත්‍ය කතා බොහොමයක් පළවෙලා තියෙනව.

මිනිසෙක් කියන්නෙ ජාන පරම්පරා දෙකක එකතුවක් චිත්ත පරම්පරාවකට සම්බන්ද වෙලා සකස්වන දෙයක්. කලින් කී අනුරාගික හෝ තාවකාලික ආදරය ශරීරය සම්බන්ධයෙන් හටගන්න බැඳීම්. මිනිසුන්ටත් වඩා හොඳින් සතුන් බැඳෙන්නෙ එනිසා. ඒත් සංසාරගත ප්‍රේමය කියන්නෙ චිත්ත පරම්පරාවේ බැඳීම.

සංසාරගත පෙම් යුවලක් හමුවුනාම දෙදෙනාම එකිනෙකාට ආදරේ වෙනව. ආදරය ප්‍රකාශ කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ ඒ යුවල අතරෙ මනෝ කායන් හුවමාරු වෙන නිසා. එක්කෙනෙකුගෙ සිතිවිළි අනෙකාට දැනෙනව. දුක, වේදනාව, සතුට ඉබේම දැනෙනව.  ඉතින් අනෙකාට දුකක් දෙන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ. ඒ අය අතරෙ තමයි සත්‍ය ප්‍රේමය පවතින්නෙ.