අපේ බුදුරජාණන්වහන්සේ අපිට වදාලේ හැමදාමත් සතුටින් ජීවත්වෙලා සතුටින්ම නික්මයන පිළිවෙල. උන්වහන්සේ දුක් පිළිබඳව දේශනා කොට වදාලේ, දුක මෙනෙහි කරමින් දුකෙහි ගැලී දුක් විඳිමින් ඉන්න නෙවෙයි. සත්‍ය ලෙසම ඇති දුක් අවස්ථා දැනගෙන එයින් මිදෙන්න.

විවාහයෙන් පසුව තරුණවිය කියන්නෙ බොහෝම වැඩ අධික, ගැටළු අධික කාලයක්. විවාහයෙන් පස්සෙ ඉතින් වෙනම පවුලක් නෙ. ඉතින් සමාජ වගකීම් ගොඩයි. දරුවො ලැබුනහම තවත් වගකීම් වැඩියි. මේ කාලෙ වෙද්දි දෙමව්පියොත් විශ්‍රාම යනව. යාළුවන්ගෙ වෙඩින් තියෙනව, ආච්චිල සීයල මියයනව. වියදමත් වැඩියි. හැමදේම ගැටළු. මෙහෙම කාලෙකදි රැකියාවට සහ ගෙදර වැඩ ටිකට කාලය කලමණාකරණය කරගන්න එක හරිම අමාරු දෙයක්. ඉතින් එහෙම කාලෙක එකිනෙකා ගැන සැකයක් ඇති උනොත් මහා ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නෙ.

බොරු කියල ආදරය දිනාගත්ත අයට මේ කාලෙදි තමයි වැඩ වරදින්නෙ.

මෙවැනි දේ නොවෙන්නනම් විවාහය ගොඩනැගෙන්න ඕනි ලෙන්ගතුකම, අනුරාගය සහ වගවීම කියන කරුනු තුන මත. මේ කාරණා තුනම සමව පවතිනව නම් ඒ විවාහය සාර්ථකයි. මුදල් ගැටළු ආවත් ඒවටත් රංඩු නොකර මුහුණ දෙන්න හැකි වෙයි. අනුරාගය මුල් කරගත් බැඳීම් වල වගවීම නෑ, ඉතින් හැම ගැටළුවම ලොකු ප්‍රශ්න වෙනව. ලෙන්ගතු කමත් වගවීමත් පමණක් තියෙන තැන ඇත්තේ මිත්‍රත්වයක් විතරයි, විවාහයක් නෑ. ගොඩක් යෝජිත විවාහ වල ලෙන්ගතුකම නෑ, ඉතින් ලෙඩට දුකට උවමනාඅවෙන් බලන්නෙ නෑ.

ඔයා දැනටමත් විවාහක නම්, ලෙන්ගතුකම, අනුරාගය සහ වගවීම සමව ඇතිකරගන්න. සමහර නිවසක පියාගෙන් ලැබෙන්නෙ මුදල් විතරයි, එහෙම වගවීමක් පමණක් ඇති තැන ඇත්තේ හිස් ආදරයක්. එහෙම වෙන්න දෙන්න එපා. තමන්ගෙ නිවස සියළු සම්පතින් පිරවීමට සිතා ගන්න.

යම් විවාහක යුවලක, දෙදෙනාම ලෙන්ගතුකම, අනුරාගය, වගවීම නිසිපරිදි දරණවානම්, ඒ තමයි දෙවියෙක් සහ දිව්‍යාංගනාවක් අතර විවාහය. එක්කෙනෙක් හරි ඒ කරුණු මගහරිනවානම් එයා තමයි මළ මිනිය. එයා තමයි ගෙදර අපායක් කරන්නෙ. ගෙදර අපායකුත් හදාගෙන  යමපල්ලෙක් වගේ අනිත් අයට වද දෙනව.

ගෙදරක දෙන්න ම වගවීමක් නැති, ලෙන්ගතුකමක් නැති අය උනහම ඒ තමයි මළමිනි දෙකක් අතර විවාහය වෙන්නෙ.

කලින් ලිපියෙන් කිව්ව වගේ සෙරටොනින් ප්‍රමාණය වියැකිලා ගියාම, මුලින්ම ලෙන්ගතුකම  අතහරිනව. එතකොට ඉතිරි වෙන්නෙ නීරස ජීවිතයක්. අනුරාගය පැවතුනත් කරදරයක් වගෙයි දැනෙන්නෙ.

මේ භවයෙදි පළමු වහාවට හමුවුනු පෙම් යුවලක් උනත් මතුසසරේ එක්ව යන්න නම් වැඩ කලයුතු පිළිවෙල අපේ බුදුරජාණන්වහන්සෙ   පෙන්වා වදාලා. ඒ තමයි,

1. සම ශීල

2. සම ත්‍යාග

3. සම ශ්‍රද්ධා

4. සම ප්‍රඥා           වැඩීම.

සම ශීල වැඩීම කියන්නෙ පංච ශීලය ආරක්ෂා කිරීම ගැන විතරක් නෙවෙයි. සමානව සිතියයුතු බව. එක්කෙනෙක් අකමැතිදේ දෙදෙනාම නොකලයුතු බව. කැමති අකමැති දේ ගැන වාද නොතිබියයුතු බව.

සම ත්‍යාග කියන්නෙ යමක් කාටහෝ දෙන විට දෙදෙනාම සම සිතින් දියයුතු බව. ත්‍යාගය ගැන වාද නැති බව. ලෝබ නැති බව. අනෙකාට හොරෙන් නොදෙන බව. තම පවුලේ අයට වැඩිපුර නොදෙන බව. ලැබියයුත්තාටම දෙන බව.

සම ශ්‍රද්ධා කියන්නෙ පිදියයුත්තන් පුදන බව.එක්කෙනෙකුගේ නෑයන්ට ගුරුවරුන්ට දෙදෙනාම පුදන බව. ඥාතීන්ට ගරහන්නේ නැති බව.

සම ප්‍රඥාව කියන්නෙ සමාන නුවණ ඇති බව. මේකනම් හදන්න අමාරු දෙයක්. කලයුත්තේ සෑම විටම සුහදව සාකච්චා කිරීමයි. රැකියා ගැටළු, ව්‍යාපාරික ගැටළු, ආයෝජන ගැටළු ආදියේදි සැමියා වඩා දක්ශයි. නමුත් දරුවන්ගේ ගැටළු, නිවසේ ගැටළු ආදියේදී බිරිඳ සැමියාට වඩා 103%ක සාර්ථකත්වයක් පෙන්වන බව විද්වතුන් කියනව. ඉතින් සුදුසු තැන ඇයට මුල් තැන දියයුතුයි. නිවසක ඇති වැඩ ගොඩක් එකවර කිරීමේ හැකියාව තියෙන්නෙ බිරිඳට විතරයි.