අපි පස්වැනි ලිපියෙදි කිව්ව ආදරයක් ඇතිවෙන හැටි, මොළයේ ‘සෙරටොනින්’ කියන රසායනිකය සකස් වෙලා බැඳීම ඇති වෙනව කියල. පෙම්වතෙක්, පෙම්වතියක් කියන්නෙ මොළයේ සෙරටොනින් රසායනිකය තරමක් වැඩිවුනු අය. මෙහෙම උනාම තර්කානුකූලව සිතීමේ හැකියාව ටිකක් අඩු වෙනව. ඒ නිසයි ඉගෙනගන්න දරුවන්ට ප්‍රේම සම්බන්ධතා වල පැටලෙන්න ඒපා කියන්නෙ. “ආලය අන්ධයි” කියල කියන්නෙත් පෙම් කරණ අයගෙ මොළේ කල්පනාව ටිකක් අඩුවෙන නිසා.  සමහර වෛද්‍ය වාර්තා කියනව නවපෙම්වතුන්ගේ මොළයේ ඇති සෙරටොනින් මට්ටම, ‘ඕ.සී.ඩී’ කියන මානසික රෝගය ඇති අයගේ සෙරටොනින් මට්ටමටත් වඩා වැඩියි කියල.

ප්‍රෙම සම්බන්ධයක් නිසා සෙරටොනින් මට්ටමක් සැකසුනාට පස්සෙ, ඒ රසායනිකය විසින් එයාව පාලනය කරනව. ඒ කියන්නෙ, සෙරටොනින් මට්ටම පහල යන වෙලාවට හිතට පීඩාවක් ඇති කරවනව. සමහර කෙනෙකුට ඇතිවෙන පීඩාව ඉතාම දැඩියි. ඉතින් තමන්ගෙ යාළුවව දකින්න තදබල උවමනාවක් ඇති වෙනව. පෙම් යුවලකගෙ උනත් සෙරටොනින් මට්ටම් සමාන නැහැ.  සෙරටොනින් වැඩි එක්කෙනාට පීඩාව වැඩියි. සම්බන්ධය පවත්වන්න වැඩි උවමනාවක් දක්වන්නෙ එයා. බොහෝ බාදක මැද උනත් පෙම්වතිය සොයාගෙන පෙම්වතා එන්නෙ ඒ නිසයි. චිත්‍රපටි වලදි නම් මෙවැනි දර්ශන නිතර දකිනව. සැබෑ ජීවිතයත් එහෙමමයි.

විරහ වේදනාව කියන්නෙ ඔය කියපු සේරටොනින් මට්ටම අඩු වීමෙදි ඇති වන පීඩාවට.

“පේමතෝ ජායතී සෝකෝ” කියන්නෙ ඒ නිසයි.

ප්‍රේම සම්බන්ධයක බිඳවැටීමකදි සෙරටොනින් සිඳීයාමේ පීඩාවත්, පෙර මතක අවදිවීමේ පීඩාවත්, යම් යම් භෞතික දේ අහිමිවීමේ පීඩාවත්, සමාජ අපවාද නිසා ඇතිවන පීඩාවත් කියන පීඩාවන් සමූහයකට මුහුන දෙන්න වෙනව.

මලින් මලට යන බඹරුන්, සමනලයින් වගේ සමහර පෙම්වතුන් සම්බන්ධතා මාරු කරනව. සමහර පෙම්වතියනුත් එහෙමයි. එහෙම කරන්නෙ එයාලට පීඩාව අඩු නිසා. එයාල තනන සම්බන්ධතාවය හරි දුර්වලයි.

සිදුහත් – යසෝදරා වැනි අධ්‍යාත්මික සැබෑ පෙම්වතුන් කවදාවත් අනෙකාට දුකක් දෙන්නෙ නෑ, ඒ එයාගෙ දුක තමන්ටත් එලෙසම දැනෙන නිසා. එවැනි යුවලක් අතරෙ තියෙන්නෙ අසීමිත විශ්වාසයක්. විශ්වාසය බිඳුනොත් ප්‍රේමයත් බිඳෙනව. මේ අයගෙ අචල විශ්වාසය නිසා ප්‍රේමය ආරක්ෂා වෙනව, අවංක ප්‍රේමය නිසා විශ්වාසය ආරක්ෂා වෙනව.

එවැනි පෙම්වතෙක් එනව කිව්වොත්, අනිවාර්‍යයෙන්ම එනව, පෙම්වතියට සැක හිතන්න දෙයක් නෑ, ඉවසා සිටින්නයි තියෙන්නෙ.

රොමියෝ – ජුලියට් කියන්නෙ තදින් බැඳුනු රසායනික පෙම් යුවලක්. ඒනිසයි දෙදෙනාගේ යටිසිත වටහානොගෙන ඛේදාන්තයකට මුහුණ දුන්නෙ.

අපේ බුදුරජාණන්වහන්සේ, ආර්‍ය සත්‍ය දේශනාවේදි පෙන්වාදී වදාලේ, යම් ගැටළුවක් විසඳීමට නම්,

1. ගැටළුව හඳුනා ගැනීම

2. ගැටළුවට මූල හේතුව හඳුනා ගැනීම

3. විසඳුම හඳුනා ගැනීම

4. විසඳුමට මාර්ගය

දැන් අපට විසඳීමට ඇති ගැටළුව වන්නේ ගත සිත පෙලන විරහ දුකයි. දුක දැනෙන සිතට විඳගන්නට බැරි තරමට දුක දැනෙන නිසා ගැටළුව ගැන විස්තර කියන්න අවශ්‍ය නෑ. ඔය දන්න ටික හොඳටම ඇති. ඒත් මේ දුක කාගෙද කියල තේරුම් ගැනීම වැදගත්. මේ දුක එයා දුන්න දෙයක්ද, තමන්ම හදාගත්ත දෙයක්ද. නැත්නම් ඉබේම හටගත්තද.

වාචික ගිවිසුම කඩකිරීම, පොරොන්දු කඩ කිරීම, මුදල් වංචා කිරීම එයාගෙ වැරදි. එවැනි වැරදි වලට නීතියෙන් දඬුවම් කලහැකියි. වන්දියකුත් ගත්තයි කියමුකො, ඒත් දුක අඩු වෙනවද. මේ දුක එයා දුන්නු දෙයක් නෙවෙයි. තමන් කොහොමත් දුක් හදාගන්නෙ නෑනෙ. ඉතින් දුක කියන්නෙ තමන් හදාගත්ත දෙයකුත් නෙවෙයි. ඇත්තටම දුක කියන්නෙ තමන්ට එපා දෙයක්, තමන් ගැලවෙන්න හදන දෙයක්. මේ දැනෙන දුක් අයිති සෙරටොනින් වලට. සෙරටොනින් නිසා දුක උපදිනව. සෙරටොනින් නැත්නම් දුක නෑ. ඉතින් කලයුත්තේ සෙරටොනින් ඉවත්කිරීම.

දැන් අපි කරුණු තුනක් දන්නව. ගැටළුව තමයි විරහ දුක. ගැටළුවට හේතුව තමයි සෙරටොනින් කියන රසායනිකය මොළයේ රැස්වී තිබීම. විසඳුම තමයි ඒ සෙරටොනින් ඉවත්කිරීම.

විරහ දුකින් පෙලෙන අය සුවපත් කරන්න අමාරු හේතුව තමයි, එයාල හැමවිටම උත්සාහ කරන්නෙ බිඳුනු සම්බන්ධය අළුත් කරන්න. තමන් පිළිබඳව ලෙන්ගතුකම, අනුරාගය, වගවීම නැති හිස් මිනිසාව ආපසු ගේන්න. ‘තමන් හා නොබැඳුනු හිස් ශරීර කූඩුවක් ආපසු ලංකර ගන්නවාට වඩා හොඳයි හරකෙක් ගේන එක, වැඩට හරි ගත්තෑකි, මසට හරි වික්කෑකි’.

අපේ බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාලා, මෙලොව ඇති සියළුම දේ අනිත්‍යයි කියල. අපට පෙනෙන, නොපෙනෙන සියළුම දේ අනිත්‍යයි. දැනෙන ඇසෙන දේත් අනිත්‍යයි. ඒ අනුඒ සෙරටොනින් මටමත් අනිත්‍යයි, දැනෙන දුකත් අනිත්‍යයි. ඒ බව පරම සත්‍යයක්. අපි පෙර ලිපියකින් කිව්ව මිනිස් මොළයේ සෙරටොනින් සකස්වී අවුරුදු දෙකක් වගේ කාලයකදි වියැකිලා යනව කියල. විරහ දුකත් ඒ වාගේම වියැකිලා යනව.

දුක මොනහරම් තදින් දැනුනත්, විඳගන්න මොනතරම් අමාඅරු උනත්, කොයි තරම් කඳුළු ගැළුවත් ඒ මහා දුක උනත් ටිකෙන්ටික අඩුවෙලා යනව. දුකට අකමැතිනම්, ඉක්මනින්ම් මැකිල යනව.

සමහරු ගොඩක් කාලයක් දුකෙන් සිටින්නෙ දුකට කැමති නිසා. එහෙම වෙන්නෙ මානසික අවපීඩන තත්වයක් නිසා. මානසික අවපීඩන ස්වභාවය ජානමය හේතුවක් වෙන්නත් ඉඩ තියෙනව. එහෙම අය වෛද්‍ය උපදෙස් ගැනෙමයි සුදුසු.

විරහ දුකෙන් මිදෙන්න හිතන අය මුලින්ම දුකෙන් මිදෙන්න කැමති වෙන්න ඕනි. දුකෙන් මිදෙන්න කැමති වෙනව කියන්නෙ සම්බන්ධය අතහරින්න කැමති වීම. හැරගිය කෙනා අමතක කිරීම.

 දුකෙන් මිදෙන්න කැමති නම්, “මම නිදුක් වෙම්වා, මම දුකෙන් මිදෙම්වා” කියන මෛත්‍රී භාවනාව පුරුදු වෙන්න. භාවනාකරන්නබැරි තරමට හිත කලබල නම් මන්තරයක් කියනව වගේ හීන් හඬින් කියන්න.

හැරගිය කෙනාට වෛර කිරීමෙන් දුක වැඩි වෙනව. හැරගිය කෙනාට මෛත්‍රී කිරීමෙන් සෙරටොනින් වැඩිවෙලා වැඩේ අවුල් වෙනව. ඒ නිසා මොනම දේකටවත් එයාව මතක් කරන්න එපා. අහම්බෙන් එයාව මතක් වෙන වෙලාවට වෙනත් දෙයකට හිත යොමු කරන්න.

හිත දුකෙන් නම් කෑම කන්නබැරි වෙනව. ඒ නිසා බලෙන්ම වගේ මොනවහරි ගිලදාන්න.

හොඳට නිදාගන්න. අපිට අනවශ්‍ය මතකයන් මැකෙන්නෙ, අනවශ්‍ය සෙරටොනින් දියවෙලා යන්නෙ මොළය විවේක ගත්තාම. ඔයා නිදි නම් මොළය විවේක අරගෙන ඒ දේවල් හොඳින් ඉටු කරනව.

කය වෙහෙසා කරන දෙයක යෙදෙන්න. රැකියාව හරි, ක්‍රීඩාවක් හරි, ව්‍යායාම හරි කයට දැනෙන තරමින් කරන්න.

ඔයාගෙ විස්තර පිටට නොකියන කල්‍යාණමිත්‍රයෙක් එක්ක ප්‍රගතිය සාකච්චා කරන්න.       ( සුදුසු මිත්‍රයෙක් නැත්නම් සවිතක්ක.නෙට් අපිව අමතන්න. )

ඉක්මනින්ම දුක තුනී වේවි.

අපේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවක සමාජයේ කිසිම කෙනෙක් දුක නිසා පීඩාවට පත් වියයුතු නෑ. උන්වහන්සේ දේශනාකලේ දුක නිවන පිළිවෙල. මේ ලිපිය කියවන ඔයාල මිතුරෙකුට නෙවෙයි හතුරෙකුටවත් දිවි නසාගන්න ඉඩ දෙන්න එපා. ඒ හැමදෙනාටම මේ පනිවිඩය කියන්න. අපේ රට, දිවිනසාගැනීම අතින් මුල්තැන සිටින රටක්. මේ රටේ දිවිනසාගන්න පිරිස අතරිනුත් වැඩි පිරිස ‘සිංහල – බෞද්ධ.

(ලෙන්ගතුකම, වගවීම’.අත්හැර පලායන අය ආපසු ගෙන්වලා දෙන්න අපි කැමති නැහැ. ඒ උනත් යම් පවුලක දරුවන්ගේ මව හෝ පියා ඔවුන් හැරගියානම් ආපසු ගෙනත් දෙන්න සවිතක්ක.නෙට් අපි උපකාර කරණව.)