“දෘෂ්ඨිය” කියන්නෙ ‘සිත’ සකස් කරන්න උපකාර වන චෛතසික ධර්මයක්. බාහිරින් ඇසට ලැබෙන  ආලෝක සංඥා, කණට ලැබෙන ශබ්ද සංඥා, දිවට නාසයට දැනෙන රසායනික සංඥා ආදිය එකතු කරල වචනයකින් හඳුන්වන්නට පුළුවන් විදිහේ සම්මත සංඥාවක් බවට පත් කරන්නෙ දෘෂ්ඨි චෛතසිකය විසිනුයි. මේ අනුව වටහාගතයුතු දෙයක් තමයි, අපි දන්නා නාම පද, ක්‍රියා පද, භාශාවේ වචන සියල්ලම අපි දන්නෙ ‘දෘෂ්ඨිය’ නිසා.

“දැනුම අයිති දෘෂ්ඨියටයි”

‘දෘෂ්ඨිය’ කියන වචනයට තෙරුම් කීපයක්ම භාවිතා කරනව. ‘ඇස’ ගැන කියද්දි ‘දෘෂ්ඨි විතානය’, දෘෂ්ඨි ස්නායුව’ වගේ වචන භාවිතා කරනව. ‘පෙනීම’ ගැන කියද්දි දුර දෘෂ්ඨික තාවය, අවිදුර දෘෂ්ඨික තාවය වගේ වචන කියනව. “දිට්ඨාවා  යේ ව අද්දිට්ඨා” කියන්නෙ ‘පෙනෙන නොපෙනෙන’ කියන අදහසින්.

‘දෘෂ්ඨිය’ යන වචනයෙන් සංකල්ප, සිතිවිලි රටා, චින්තන රටා ආදිය ගැන කියනව. සමාජවාදී දෘෂ්ඨිය, ශාස්වතවාදී දෘෂ්ඨිය, උච්චේදවාදී දෘෂ්ඨිය ආදී නම් වලින් හඳුන්වන්නේ විවිධ සංකල්ප අනුව සකස් වුනු චින්තන රටාවන්. දර්ශනය, දැක්ම කියන වචනත් සමාන අදහසින් භාවිතා වෙනව.

“දිට්ඨිය” කියන වචනයෙන් ඇදහීම් සහ විශ්වාසා ගැන කියන්නත් යොදාගන්නව. සංස්කෘත භාශාවෙත්, සිංහල භාශාවෙත් ‘දෘෂ්ඨි’ කියන වචනය භාවිතා වෙනව. පාලි භාශාවෙ භාවිතා වෙන්නෙ ‘දිට්ඨි’ කියන වචනය.

අපේ ජන වහරේ “දිෂ්ටි” කියල වචනයකුත් භාවිතා වෙනව. ඒ කියන්නෙ ‘යක්ෂ දිෂ්ටි, ප්‍රේත දිෂ්ටි’ වගේ දේවල්. මේ කියන ‘දිෂ්ටි’ ඇතිවුන අයගේ මනස විකෘති වෙනව.

බුදු දහම පදනම් වන්නේ “චතුර් ආර්යය සත්‍යය”. උපකල්පන භාවිතයෙන් කරුණු සාධනය කිරීමක් බුදු දහමේ නැහැ. තිබෙන්නේ සත්‍යය පමණයි. ඒනිසා උපකල්පන මත සකස් වන චින්තන රටාවන් “මිත්‍යා දෘෂ්ඨි” ලෙස සලකනව.

ප්‍රායෝගිකව සිදුවන දේ පමණක් “සම්‍යක් දෘෂ්ඨි” ලෙස සලකනව.

උත්සාහයෙන්, වීර්යයෙන් ‘ප්‍රඥාව’ උඅපදවා ගන්නා තුරුම දැනුම සකස් කරන්නෙ දෘෂ්ඨි චෛතසිකයෙන්.

බාහිරින් ලැබෙන සංඥා එකතු කරල, සම්මත සංඥා (වචන ) හදන්නෙ දෘෂ්ඨිය විසින්. මේ දේ සිද්ද වෙන්නෙ ඇස, කණ, දිව, නාසය, සම කියන පංච ඉන්ද්‍රිය තුළ.

වචන එකතු කරල, තේරුමක් ලැබෙන ‘වාක්‍ය’ හදන්නෙත් දෘෂ්ඨිය විසින්. මේ දේ සිද්ද වෙන්නෙ ‘මනස’ ඉන්ද්‍රිය තුළ.

වාක්‍ය එකතු කරල “සංකල්ප” හදන්නෙත් දෘෂ්ඨිය විසින්මයි.

වචන දන්නවනම්, භාශාවෙ රීති දන්නවනම්, ඔනිම කෙනෙකුට වාක්‍ය හදල යමක් කියන්න පුළුවන්. ඒත් ඇත්තටම සිදු නොවුනු දෙයක්, ප්‍රායෝගිකව සිදු නොවිච්ච දෙයක් කියනවනම්, ඒක බොරුවක්, මුසාවක්, අසත්‍යයක්, මිත්‍යාවක් .

කවදාවත් සිදු නොවෙන දෙයක්, වෙන්ඩ බැරි දෙයක්, සත්‍ය නොවෙන දෙයක්, ‘අභව්‍ය සංකල්පයක්’ කියනවනම්, ඒක “මිත්‍යා දෘෂ්ඨියක්”.

වෙනස් කම් වලට භාජනය වන දෙයක් ‘පරම විමුක්තිය’ කියල කියනවනම් ඒක අසත්‍යයක්. ‘දුක්ඛ ආර්ය සත්‍යයෙන් ඒ බව පෙන්වල දෙනව. ඒනිසා, කල්ප ගානකින් හරි, සුළු හරි වෙනස් කමකට භාජනය වෙන දෙයක් ‘පරම විමුක්තිය’ කියනවනම් එ “මිත්‍යා දෘෂ්ඨියක්”

තමන්ව පෙලන දෙයක්, උත්සාහයෙන් රැකගතයුතු දෙයක්, හිත රිදවන දෙයක්, වෙනස් වන දෙයක් “සැපයි” කියනවනම් ඒවායෙ තියෙන්නෙ තාවකාලික සුවයක් මිස ස්ථිර සැපයක් නෙවෙයි. ඉතින් එහෙම දෙයක් ‘සැපයි’ කීම මිත්‍යා දෘෂ්ඨියක්.

අපි අසන, දකින, විඳින සහ අපෙක්ෂා කරන දේ ගැන වර්ණනා කරන්න ගිහින්, ගුණ කියන්න ගිහින් නිකම්ම මිත්‍යා දෘෂ්ඨි හදාගන්නව.

අපිට පහසුවෙන්ම ළඟාකරගන්න පුළුවන් “සම්‍යක් දෘෂ්ඨිය” තමයි ඇත්ත කීම. ප්‍රායෝගික සත්‍යයක්ම කීම. නොදන්නා දේවල් නොකියා සිටීම වැදගත්.

“දෘෂ්ඨිය” අපි තුළ ආකාර තුනකින් ක්‍රියාතමක වෙනව.

බාහිරින් ලැබෙන සංඥා රැස් කරල යමක් වැටහෙන ලෙස සකස් කිරීම තමයි දෘෂ්ඨි චෛතසිකයේ මූලික ක්‍රියා කාරිත්වය. ඒ තමයි පළමු ආකාරය.

‘මිත්‍යා දෘෂ්ඨි’ සකස් වීම දෙවෙනි ආකාරය.

‘සම්‍යක් දෘෂ්ඨි’ සකස් වීම තමයි තුන්වෙනි ආකාරය.

‘දෘෂ්ඨිය’ නැමැති චෛතසික ස්වභාවය මුලිනුපුටා දැමුවොත්, අපිට අවට ලෝකය දැනෙන්නෙ, පෙනෙන්නෙ ශක්ති සාගරයක් විදිහට විතරයි.

අපි පළමුවෙන් දුරු කලයුත්තේ සහ අපිට මුලින් දුරුකල හැකි වන්නේ “මිත්‍යා දෘෂ්ඨිය” යි.

විපල්ලාස ධර්ම

අනිත්‍ය දේ නිත්‍ය හැටියට, දුක් දෙන දේ සැප හැටියට, අනාත්ම දේ ආත්ම හැටියට, අනර්ථය කරනදේ අර්ථවත් හැටියට ‘මිත්‍යා දෘෂ්ඨි’ උපදවා ගන්නෙ “විපල්ලාස ධර්ම” නිසයි. මේ කියන විපල්ලාස ධර්ම වලට සමහර පොතක විපරියාස ධම්ම කියනව, විපරියේස ධම්ම කියලත් කියනව.

අනිත්‍ය දේවල් නිත්‍ය ලෙසින් සංඥා විපල්ලාස ඇතිවෙනව, දෘෂ්ඨි විපල්ලාස ඇති වෙනව, චිත්ත විපල්ලාස ඇති වෙනව.

දුක් සහිත දේවල් සැප ලෙසින් සංඥා විපල්ලාස ඇතිවෙනව, දෘෂ්ඨි විපල්ලාස ඇති වෙනව, චිත්ත විපල්ලාස ඇති වෙනව.

අනාත්ම දේවල් ආත්ම ලෙසින් සංඥා විපල්ලාස ඇතිවෙනව, දෘෂ්ඨි විපල්ලාස ඇති වෙනව, චිත්ත විපල්ලාස ඇති වෙනව.

අනර්ථ කාරී දේවල් අර්ථවත් ලෙසින් සංඥා විපල්ලාස ඇතිවෙනව, දෘෂ්ඨි විපල්ලාස ඇති වෙනව, චිත්ත විපල්ලාස ඇති වෙනව.

අසුබ දේවල් සුබ ලෙසින් සංඥා විපල්ලාස ඇතිවෙනව, දෘෂ්ඨි විපල්ලාස ඇති වෙනව, චිත්ත විපල්ලාස ඇති වෙනව.

සංඥා විපල්ලාසයක් කියන්නෙ, යම් බාහිර වස්තුවක් නිසා ඇසෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන් හෝ ස්පර්ශයෙන් ගන්නා සංඥාව විකෘති වීමට. ඇස ගැන කියනවනම්, අපිට (මිනිස්සුන්ට  ) කිසිම අවස්ථාවක, මොනම බාහිර වස්තුවකවත් ඇත්තම ස්වභාවය පේන්නෙ නෑ. මිනිස්සුන්ට පේන්නෙ වර්ණ තුනක සංකලනයක් විතරයි, සමහර සතුන්ට ඊටවඩා වර්ණ පේනව. සමහර අයට ‘වර්ණ අන්ධතාවය’ තියෙන නිසා එයාල දකින්නෙ වෙනස්ම රූපයක්. ‘ඇසට පෙනෙනවා’ කියන සංවේදනය ඇති කරන්නෙ බාහිර වස්තුව නෙවෙයි, ඒ මත වැටෙන ආලෝකය විසින්. ආලෝකයේ වර්ණය අනුවත් පේන දේ වෙනස් වෙනව. බාහිර රූපය සෑම මොහොතකම වෙනස් වෙනව. ඒ වෙනස අඳුනගන්න තරම් අපේ ඇස් දියුණු නැහැ. ඇසේ යම් දෝශයක් තිබුනොත්, ඇසේ උපදින සංඥාව ඒ දෝශය නිසාත් වෙනස් වෙනව.

කණ සම්බන්ධයෙන් හිතල බැලුවත්, බාහිරින් ආ ශබ්ද තරංගය මොකක් උනත්, අපට ඇහෙන්නෙ අපේ කණේ ‘කණ් බෙරය’ කම්පනය වීමෙන් උපදින ශබ්දය මයි. පාසැල් ගුරුවරු යමක් උගන්වන්න ගොඩක් මහන්සි වෙන්නෙ, තමන් දරුවන්ට කියන දේ ඒ ආකාරයෙන්ම සිසු දරුවන් ග්‍රහණය නොකරන නිසා. ගුරුවරයාගේ උගුරේ කම්පනය සහ සිසු දරුවන්ගේ කණ් බෙර වල කම්පන සමපාත නොවන නිසා. ගුරුවරයා කුමක් කීවත්, දරුවා ගේ වැටහීම වෙන්නේ එයාගෙම කන් බෙරය කම්පනය වූ ආකාරය විතරයි.

මිනිස්සුන්ගෙ නාසය සහ දිව රැවටීම අද කාලේ වෙළඳ සමාගම් විසින් කරන්නෙ තරඟෙට වගේ. විවිධ සුවඳ කාරක රසායනික වර්ග දිය කරපු වතුර වර්ග ලොකු මිළ ගණන් වලට විකුණනව. විවිධ රස කාරක මිශ්‍ර කරල ‘සෝයා’ විකුණනව, පුහුල් ජෑම් විකුණනව. පාරිභෝගිකයො මේ දේවල් ගන්නෙ සංඥා විපල්ලාසයට අසුවෙන නිසා. ( වෙළඳපොලේ තියෙන ‘චිකන් රසැති නූඩ්ල්ස්’ ‘මාලු රසැති සෝයා’ එහෙම මස් කන සතෙකුට දීල බලන්නකො  )

ඇත්ත වසාගෙන, බොරු සංඥාවක් ශරීර ගත  උනාම, හරියට ‘වෛරසයක්’ ශරීර ගත වුනා වගේ තමයි. ඒ සංඥාව නිසා උපදින දෘෂ්ඨියත්, චිත්තයත් කියන දෙකම විපරීත වෙනව. ඒ කිව්වෙ විපල්ලාස වෙනව. වැරදි සංඥා නිසා වැරදි දෙයක්ම තමයි සිහියට එන්නෙ.

 ‘වෙළඳ දැන්වීම්’ බොහොමයක්ම කරන්නෙ ‘දෘෂ්ඨි විපල්ලාස සහ චිත්ත විපල්ලාස’ ඇති කරල ඇත්ත වහල බොරුව විකිනීම. කල්පැවැත්ම, ගුණ දායක බව වගේ දේවල් ගැන දහස් ගණනින් බොරු කියනව. ඒ බොරු අහල අහල ඇත්ත වගේ පිළිගන්න එක දෘෂ්ඨි විපල්ලාසයක්. ආගම් ගැනත් සමහරු බොරු පතුරුවනව. ඒව පිළිගන්නෙ දෘෂ්ඨි විපල්ලාස නිසා. බෞද්ධ ආගමික සංකේත ගැන උනත් නැති ගුණ පෙන්නල බොරු පතුරුවන අය ඉන්නව.

තමන් තුළ ‘දෘෂ්ඨිය’ කියන ගුණය ඇති අයට මේ දේවල් බොරු ලෙස පේන්නෙ නෑ, දැනෙන්නෙ නෑ, කිව්වත් වැටහෙන්නෙ නෑ. ඒ නිසයි දෘෂ්ඨි විපල්ලාසයක කියන්නෙ.

අකුරු කියවා කරුණු තේරුම් ගැනීමත් විපල්ලාසයක්. ‘අකුරු’ කියන්නෙ කුරුටු රූප සමූහයක්. ඒ අකුරු දිහා බලන අය රාගය, ද්වේශය, මෝහය, විතර්ක, ප්‍රඥාව වගේ හැඟීම් උපදවා ගන්නව. ඇස දකින මූලික ආලෝක සංඥාව සහ අවසාන චිත්ත ස්වභාවය අතර සම්බන්ධයක් නැති තරමේ වෙනසක් තියෙනව. ඒක විපල්ලාසයක්. දෘෂ්ඨිය දුරු කරන්නට කැපවෙන අය මේ ගැන අවධානය යොමු කරන්න ඕනි.

දෘෂ්ඨිය විපල්ලාස වෙන්නෙ සංඥාව නිසාම විතරක් නෙවෙයි. අපි දෘෂ්ඨිය ගැන කියද්දි මුලින් කිව්ව මතක ඇති, දෘෂ්ඨිය ක්‍රියාත්මක වෙලා, මූලික සංඥා එකතු කරල සම්මත රූප හදනව, වචන එකතු කරල වාක්‍ය හදනව, වාක්‍ය එකතු කරල සංකල්ප හදනව කියල. අපිට දිගින් දිගට කල්පනා කරන්න සිතිවිලි හදල දෙන්නෙ දෘෂ්ඨිය විසින්. ඉතින් අපිට විශේශ අරමුණක් නැති වෙලාවට, අපි අනන්තයට යනකම්ම කල්පනා කරනව. කල්පනා කරන්න සිතිවිලි හිඟයක් නම් කවදාවත්ම වෙන්නෙ නෑ. හැබැයි කවුරු හරි ඇහුවොත් ‘මොනවද කල්පනා කරනෙ’ කියල ‘මොකුත් නෑ’ කියනව. ඇයි ඉතින් ඔය බහුබූත කාටවත් කියන්න පුළුවන් දේවල් නෙවෙයිනෙ.

දෘෂ්ඨිය දුරු කරපු අයට එහෙම වෙන්නෙ නෑ. ඒ අය කල්පනා කරන්නෙ සත්‍ය කරුණු විතරයි. ඒ ගැන තව කෙනෙකුට කියන්න පැකිලෙන්නෙ නෑ.

දෘෂ්ඨිය ඇති අයගෙ සිතිවිලි,

කාම විතක්ක

ව්‍යාපාද විතක්ක

විහින්සා විතක්ක

කියන කාණ්ඩ වලට අයත් වෙනව. මේ විදිහෙ පෞද්ගලික සිතිවිලි ජාලාවක් නිතරම සක්‍රියව තියෙන නිසා තමයි ‘යෝනිසෝමනසිකාරය’ මඟහැරෙන්නෙ. යෝනිසෝමනසිකාරය නොලබා සිහින ලෝක වල සැරිසරන එකට තමයි “ෆැන්ටසි” කියන්නෙ. සිනමා කර්මාන්තය කියන්නෙ ප්‍රේක්ෂකයා වෙනුවෙන් “ෆැන්ටසි” නිර්මාණය කරන කර්මාන්තයට.

යෝනිසෝමනසිකාරය

යෝනිසෝමනසිකාරය කියන්නෙ  එලඹසිටි සිහියට. ඒ කියන්නෙ මේ මොහොතෙ කරන දේ නිවැරදි සිහියෙන් කරන එකට. එහෙම නිවැරදි සිහියෙන් අපිට ඉන්න අමාරු වෙලා තියෙන්නෙ මනස සිතිවිලි ජාලාවක අනන්තය සොයන්න යන නිසා. එහෙම වෙන්නෙ ‘දෘෂ්ඨි විපල්ලාස’ නිසා. දෘෂ්ඨිය අපිට නිතරම සිතිවිලි හදල දෙන නිසා.

සිතට බාහිර අරමුණු ආවෙ නැති උනත්, සිත ඇතුලෙන්ම සිතිවිලි සකස් වෙනව. හිතේ හිඩැසක් ඇති වෙන්නෙම නෑ. නිතරම සිතිවිලි වලින් පිරෙනව. කිසිම වෙලාවක හිඩැසක් ඇති වෙන්න නොදී මොනව හරි මතක් කරන්නෙ ‘කුක්කුච්චය’ චෛතසිකය විසින්. එහෙම මතක්වුනු දෙයක්, සිතිවිලි ගංගාවක් වගේ ගලාගෙන යන්නෙ ‘දෘෂ්ඨිය’ නිසා. අළුතින් අරමුණක් ලැබෙනකල්ම සිතිවිලි ගඟ ගලනව. අළුත් අරමුණක් ලැබුනම , සිතිවිලි ගඟ ඒ පැත්තට ගලනව. සිතට නිදහසක් ඇත්තෙම නෑ, නින්ද ගියාම හීනයක් වෙලා හරි සිතිවිලි උපදිනව. සිතිවිලි ජාලාව නිතරම සැරිසරන්නෙ අතීතයේහරි, නැත්නම් අනාගතයෙ හරි. වර්තමානයට එන්නෙම නෑ.

යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනව කියන්නෙ වර්තමානයේ සිහිය පවත්වන එකට. නොදැනීම සිතිවිලි උපදින නිසා වර්තමානයට එන්න හරිම අමාරුයි.

තමන්ගෙ සිහිය වර්තමානයට ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි ‘එක වරකට එක වැඩක් පමණක්’ කිරීම. එක වරකට කලයුත්තෙ එක වැඩයි, ඒ එක වැඩේ නිවැරදි සිහියෙන් කරන්න ඕනි.

වර්තමානයේදි සංකීර්ණ රැකියා කරන අය එක වර වැඩ ගොඩක් කරනව. අතීතයේදි එහෙම නෑ. කුඹුරු කොටන අය, තණකොළ කපන අය, කළුගල් කඩන අය,  තේ දළු නෙලන අය එක වරකට කරන්නෙ එක වැඩයි. ඒත් ඉතින් ඒ අය මොනව හරි කතා කරකර, කවි කියකිය, සින්දු අහ අහ වැඩ කරන නිසා සිහිය නම් වර්තමානයේ රැඳුනෙ නෑ.

පොල් අතු වියන, පැදුරු වියන, රේන්ද ගොතන අයටත් සිහිය පිහිටුවන්න ලේසියි. සමහර ශ්‍රද්ධාවන්ත උපාසක අම්මල නම් ඒ බව දැනගෙන වැඩ කලා.

අපේ අය වැඩ පටලවගන්න නිසා ‘කුක්කුච්චය’ වර්ධනය වෙනව. ඒක නීවරණ ධර්මයක්. මේ අය හොද්ද ලිපේ තියල, අයන් එක කරන්ට් එකට ගහල මිදුල අතුගාන්න යනව. ඉතින් ටික වෙලාවකින් වැඩ සේරම අවුල් වෙනව. වැඩ වැඩි නිසා තවත් වැඩ වැඩි කර ගන්නව.

එක වරකට එක වැඩක් කරන්න නම් තියෙන වැඩ පිලිවෙලකට කරන්න ඕනි. කලයුතු වැඩ සියල්ලම නිවැරදි අනුපිලිවෙලකට සකස් කරගත්තහම ‘කුක්කුච්චයට’ ඉඩක් නැහැ. එතකොට අතරමැදින් සිතිවිලි උපදින්නෙ නැහැ.

වර්තමාන මිනිස්සු අයිති වෙන්නෙ “ඥෙය” කියන බුද්ධි මට්ටමට. ඒ අයගේ මොලයේ කලාප කීපයක් එකවර අවදි වෙනව. ඒ නිසා වර්තමානයේ සිහිය පවත්වන්න අමාරුයි. නිතරම මොකක් හරි අළුත් අරමුණක් සක්‍රිය වෙනව. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතයෙනුත්, ඉගැන්වීමේ ක්‍රමයෙනුත් බිහි වෙන්නෙ බහු කාර්යය මිනිස්සු. ඒ අයට යෝනිසෝඅමනසිකාරය හුරු කරවන්න අමාරුයි.

එක වරකට එක වැඩක් කරන්න හිතන අය ඇවිදින විටදි පාද වල සිහිය පිහිටුවන්න ඕනි. හිටගෙන හරි වාඩිවෙල හරි ඉන්න වෙලාවට හුස්ම ගැන, ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවන්න පුරුදු වෙන්න. ඒක අමාරු නම් අත් වලින් පාදයට තට්ටු කරමින් ඒ ගැන සිහිය පිහිටුවන්න පුළුවනි. නිදාගෙන ඉන්න වෙලාවට උදරය මතින් අතක් තියාගෙන, උදරයේ පිම්බීම හැකිලීම ගැන සිහිය පිහිටුවන්න පුරුදු වෙන්න. කරුණු හිතන්නෙ නැතිව ක්‍රියාවකට හිත යෙදවීමයි කලයුතු.

සමහර කෙනෙකුට හිතේ සිතිවිලි නවත්තගන්න අමාරු වෙන්නෙ කාය විඤ්ඤත්ති, වාක් විඤ්ඤත්ති තදබල ලෙස උපදින නිසා. මේ තත්වය මගහරවන්න සිත කය වචනය යන තුන් දොරම පාලනය කර ගන්න ඕනි. සමහරු ආහාර පවා පාලනය කරමින් දුෂ්කර ක්‍රියා කරනව.

වර්තමාන ක්‍රියාවකට හිත යෙදවීම පුරුදු උනාට පස්සෙ ‘ආනාපාන සති’ භාවනාවට හිත යොදවන්න පහසුයි.

යම් එකම ක්‍රියාවකට හිත යොදවාගෙන ඉන්න අතරෙදිත් හිතට විවිධ අරමුණු එනව. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහල වෙනව. අන්න ඒ වෙලාවට තමන්ගෙ ප්‍රකෘති සිහිය දොරටු පාලයෙක් බවට පත් කරල අනවශ්‍ය නරක සිතිවිලි සියල්ලන එලවල දාන්න ඕනි. කියනදේ නාහන සිතට තරවටු කරල හරි නරක සිතිවිලි එලවන්න ඕනි.

මෙහෙම කරනකොට යෝනිසෝමනසිකාරය වැඩෙනව. යෝනිසෝමනසිකාරය වැඩෙනවිට දෘෂ්ඨිය දුරු වෙන බව තයෝධම්ම සූත්‍රයෙන් වටහා ගතහැකියි.

දෘෂ්ඨිය සම්පූර්ණයෙන් දුරු වෙන්නෙ මාර්ග ඵල ලබන අවස්ථාවෙදි. ඊට කලින් දෘෂ්ඨිය සැඟවිලා ‘අනුශය’ අවස්ථාවට පත් වෙනව. “දිට්ඨානුසය” කියන්නෙ දෘෂ්ඨියේ අනුශය අවස්ථාවට.

උපාදාන

තෘෂ්ණාව නිසා උපාදාන සකස් වන බව අපි කවුරුත් දන්නා දෙයක්. උපාදාන සකස්වීමේ ක්‍රියාවලියෙදි ‘දෘෂ්ඨිය’ විසිනුත් විශාල කාර්ය භාරයක් කරනව.

දෘෂ්ඨිය – සංඥා එකතු කරල රූපයක්/ වචනයක් හදනව.

තෘෂ්ණාව – සකස්කල රූපය නිත්‍ය ‘එක්දෙයක්’ ලෙස මිටි බඳිනව.

මේ දෙදෙනාගෙම ක්‍රියාකාරිත්වයෙන් තමයි උපාදානය සකස් වෙන්නෙ. මූලිකවම උපාදාන වර්ග හතරක් ඇති බව පොතපතේ සඳහන් වෙන්ව.

කාම උපාදාන

දිට්ඨි උපාදාන

සීලබ්බත උපාදාන

අත්තවාද උපාදාන

‘ලෝභය’ මුල් කරගෙන හදන උපාදානය තමයි කාම උපාදානය. ඉතිරි උපාදාන තුනම හැදෙන්නෙ දෘෂ්ඨිය මුල් කරගෙන. කැමැත්ත නිසා හිතේ රැඳුනු මතකයන් ‘කාම උපාදානය’ ට අයත්. හිතේ රැඳුනු අකමැති දේ, බිය උපදවන දේ, පිළිකුල් අප්‍රසන්න දේ අයිති වෙන්නෙ දිට්ඨි උපාදානයට. වැරදි ශීල වෘත, ඇබ්බැහිවීම්, නරක පුරුදු අයිතිවෙන්නෙ සීලබ්බත උපාදානයට. අපි මතකයේ රඳවාගෙන ඉන්න සියළුම මතවාද අයිති වෙන්නෙ අත්තවාද උපාදානයට. මේ අතරින් පසුව කීව උපාදාන වර්ග තුනම හටගන්නෙ දෘෂ්ඨිය මුල් කරගෙන. අත්තවාද උපාදානයට අයිති සියළුම මතවාද “මිත්‍යා දෘෂ්ඨි” කියල හඳුන්වනව.

මිත්‍යා දෘෂ්ඨිය

ප්‍රායෝගිකව සිදු නොවන දෙයක් සංකල්පයක් ලෙස සිතින් දරා සිටීම මිත්‍යා දෘෂ්ඨි ගැනීමක්. විද්‍යාත්මකව තහවුරු කරපු කරුණු වුනත් කාලයකදි බිඳවැටෙනව. එවනි අස්ථාවර මතවාද අයිති වෙන්නෙත් මිත්‍යා දෘෂ්ඨි ගණයට. ඉතින් එවැනි දේ වෙනුවෙන් පෙනී සිටීමෙන්, වාද විවාද කිරීමෙන් තමන්ට් සිදු වෙන්නෙ අයහපතක් මයි.

තමන් වටහා නොගත් කරුණු මතකතබාගෙන සිට අනුන්ට කියන්නට යාමෙන් ඇතිවෙන්නෙත් මිත්‍යා දෘෂ්ඨියක්මයි.

සංයුක්ත නිකායෙ දිට්ඨි වර්ගයේ ඇති  ‘මිත්‍යා දෘෂ්ඨි සූත්‍රයෙන්’ බුදුරජාණන්වහන්සේ පෙන්වාදී වදාලේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදාන ස්කන්ධ නිසා මිත්‍යා දෘෂ්ඨි උපදින බවයි. අනිත්‍ය වූ පංච උපාදාන ස්කන්ධ නිත්‍ය ලෙස සැලකීමෙන් ‘දෘෂ්ඨි විපල්ලාස’ ඇති වෙනව.

ස්ත්‍රී රූපයක් හරි, පුරුෂ රූපයක් හරි කොයි මිනිස් රූපය උනත් අපි ඇසින් දකින විදිහේ තනි රූපයක් නෙවෙයි, රූප සන්තතියක්. ඒ කිව්වෙ රූප ගංගාවක්, රූප ප්‍රවාහයක්. ගඟක් ගලනව වගේ රූප සමූහය මොහොතින් මොහොත වෙනස් වෙවී විවිධ ක්‍රියා දක්වනව. ඉතින් රූපය නිත්‍ය දෙයක් කියල හිතන පමණකින්ම ඇතිවෙන්නෙ මිත්‍යා දෘෂ්ඨියක්.

පංච උපාදාන ස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල මතක තියාගත්තට මදි, ඒ බව වටහාගන්න නම් දෘෂ්ඨි විපල්ලාසය දුරු කරගන්නම ඕනි.

ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, චක්ඛු සම්ඵස්සයත්, වේදනාවත් අනිත්‍ය බව අසාර බව දැනගැනීම අවශ්‍යයි. මේ විදිහටම කණ, නාසය, දිව , කය පිළිබඳවත් වටහා ගන්නා කෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ඨිය පහව යනබව ‘මිච්චාදිට්ඨි පහාන’ සූත්‍රයේ සඳහන් වෙනව.

 අපිට අපේ ශරීරය සහ අවට ලෝකය නිත්‍ය දේවල් වගේ පෙනෙන්නෙ මහාභූත රූප ව්ලින් සකස්වුනු මේ සියළුම රූප ‘ඝණ සතරකින්’ වැසී ඇති නිසා සහ ‘නයය’ සතරකින් පාලනය වීඇති නිසා. මේ දේවල් ඉක්මවා පරමාර්ථ සත්‍යය දකින්න නම් තියුණු මනසක් අවශ්‍යයි.

අපි මේ ලිපියෙන් කතා කල විදිහට දෘෂ්ඨිය දුරු කරගන්න උත්සාහ කරන කෙනෙකුට තමන්ගෙ දෘෂ්ඨිය දුරුවෙද්දි මේ කරුණු වැටහෙනව. දෘෂ්ඨිය දුරු වෙද්දි අනවශ්‍ය සිතිවිලි ඉපදීම අඩු වෙනව. සිත වෙනතක ගියත් ඉතාම ඉක්මනින් නිවැරදි වෙනව.

තමන් තුලින් දෘෂ්ඨිය දුරු වීම නිසා අභව්‍ය සිතිවිලි නැති වෙනව. සත්‍ය කරුණු විතරයි සිහියට එන්නෙ. මේ නිසා බොරු කීමේ අපහසු තාවයක් ඇති වෙනව. දෘෂ්ඨිය දුරු කල තැනැත්තා බොරු නොකියන නිසාම පව් නොකරන කෙනෙක් බවට පත් වෙනව.

අකුසලය සහ අකුසල මූලය දැනගැනීම, කුසලය සහ කුසල මූලය දැන ගනීම, ආහාරය දනගැනීම, චතුර් ආර්යය සත්‍යය දැන ගැනීම සම්මා දිට්ඨිය බව ‘සම්මා දිට්ඨි ‘ සූත්‍රයේ සඳහන් වෙනව.

කෙනෙකුට ‘ආර්යය අශ්ඨාංගික මාර්ගය’ ප්‍රගුන කිරීමට අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨියෙහි පිහිටා සිටීමයි.

සක්කාය දිට්ඨිය

සංයුක්ත නිකායේ දිට්ඨි වර්ගයේ (06 වැනි  ) සක්කාය දිට්ඨි සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනව,

රූපය ඇති කල්හි, රූපය නිසා, රූපයට පිවිස සක්කායදිට්ඨිය උපදී. වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පිවිස සක්කාය දිට්ඨිය උපදී. සංඥාව, සංඛාරය, විඥානය යන පංච උපාදානය නිසාම මේ ආකාරයට සක්කායදිට්ඨිය උපදී, කියල.

පංච උපාදාන ස්කන්ධයේම අනිත්‍යබව, දුක් සහිත බව දකින අය සක්කායදිට්ඨියෙන් මිදෙනබව කියවෙනව.

මජ්ජිම නිකායෙ, චූල වේදළ්ල සූත්‍රයේදි ධම්මදින්නා රහත් මෙහෙනින්වහන්සේ විසින් විස්තර කරලා තියෙන විදිහට “සක්කාය” කියන්නෙ පංච උපාදාන ස්කන්ධයන්ට.                ( ඤාණානන්ද හිමි – රහතුන්ගේ ධර්ම සාකච්චා  – 21 පිටුව  )

රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ කියන පංච උපාදාන ස්කන්ධයන්ට තමයි සක්කාය කියන්නෙ.

පංච උපාදාන ස්කන්ධයන්ගේ එකතුවීමට තමයි ‘සක්කාය දිට්ඨිය’ කියන්නෙ. පංච උපාදාන ස්කන්ධයන් එකතුවෙලා විවිධාකාර විඥාණ හදනව. විවිධ මිත්‍යා දෘෂ්ඨි හදනව. ඉතින් එම තත්වයෙන් මිදෙන්න නම් ‘සක්කාය දිට්ඨිය’ දුරු කරන්න ඕනි. ඒ කිව්වෙ සංඥා විපල්ලාස, දෘෂ්ඨි විපල්ලාස, චිත්ත විපල්ලාස දුරු කරන්න ඕනි.

සක්කාය දිට්ඨිය දුරු කරන්න හිතුවත් බාහිර සංඥා ශරීරගතවීම ස්වභාවයෙන්ම සිද්ධ වෙනව. නමුත් ඒ අනුව දෘෂ්ඨි සකස් වීම වලක්වාගන්න පුළුවන්. එහෙම කරන්නෙ සත්‍ය කරුණු විතරක් ම බාර ගැනීමෙන්. සැක සහිත දේ බාර නොගෙන සුදුසු ගුරුවරයෙකුගෙන් විමසා දැනගතයුතුයි. වැරදි හෝ නුසුදුසු විඥාණ සකස් වෙන වෙලාවට, ඒ ගැන අවධානයෙන් ඉඳල ඒ සිතිවිලි ඉවත් කල යුතුයි.

නුසුදුසු සිතිවිලි වලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ‘කුසල චේතනා’ වැඩීම.

කවුරුහරි කෙනෙක් නිතරම මෛත්‍රී චේතනාව පුරුදු පුහුනු කරනවනම්, එයා රැකියාව කලත්, ගෙදර වැඩක යෙදුනත්, සතෙකුට කන්න දුන්නත්, කරදරකාර සතෙක්ව එලෙව්වත්, කාටහරි තරවටු කලත් එයාගෙ මෛත්‍රී චේතනාව වෙනස් වෙන්නෙ නෑ. මෛත්‍රී චේතනාව බලවත් උනාම, ඒ චේතනාව බිඳගෙන වෙනත් නරක සිතිවිල්ලකට එන්න බැරි වෙනව.

ඉහත විස්තරයෙදි ‘සක්කායදිට්ඨිය’ ගැන කියවුනු එක තැනකවත්, ‘මමය මාගේය මගේ ආත්මයය’ කියන අදහස කියවුනේ නෑ. සක්කාය කිව්වෙ එහෙම අදහසක් නෙවෙයි, පංච උපාදාන ස්කන්ධයට.

“සක්කාය” කියන වචනය, ඒ වචනයේ හඬ අනුව “ස්ව-කාය” හැටියට සිංහලයට පරිවර්තනය කර ඇති නිසයි මේ වරදි අදහස අවිත් තියෙන්නෙ.

‘ස්ව – කාය’ යන වචනය සංස්කෘත භාශාවට සමීපයි කියලයි කියන්නෙ. නමුත් පාලි වචනයේ තේරුම සංස්කෘත භාශාව තුළින් සොයන්න බැහැ.

“සක්කාය” යන පාලි වචනය “සත් – කාය’ ලෙස වටහා ගනීමයි සුදුසු. ඉන් අදහස්  කරන්නේ “සත්‍ය වශයෙන්ම පවතින දේ” යන්නයි. සත්‍ය වශයෙන්ම පවතින්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදාන ස්කන්ධ 5යි.  සක්කාය යනු එක්ව කටයුතු කරන දේවල් යන අදහසද දකින්නට ඇත.

“සක්කාය’ යනු මමය මාගේය මගේ ආත්මයය යන අදහසක් පැරණි පොතපතින් හමු නොවේ. නමුත් “සක්කාය දිට්ඨිය” යනු ‘ පෞද්ගලික මතවාදය’ යන අදහසද කියැවේ.

කොහොම උනත්, දෘෂ්ඨිය දුරු කරන්නට හිතන අය, තහවුරු කරන්නට නොහකි පෞද්ගලික මතවාද අත්හැරීම තමයි සුදුසු.  ඔප්පු වලින්, කුවිතාන්සි වලින්, බිල්පත් හෝ ගිවිසුම් මගින් තමන් සතු වුනු දේ මනසින් අත්හැරීම වැදගත්. දෘෂ්ඨි විපල්ලාස දුරු කරගෙන දෘෂ්ඨිය දුරු කිරීමයි කලයුතු වන්නෙ.

යම් කෙනෙක් ‘මගේ’ කියා සලකන බාහිර දේපොල සහ ඤාතීන් පිළිබඳ අදහස තෘෂ්ණා – දෘෂ්ඨි උපාදානයන් නිසා ඇති කරගත් සිතිවිල්ලක්. එවැනි අදහස් ‘දෘෂ්ඨි’ ලෙස සැලකියහකියි. නමුත් උපන් ගමන් බිළිඳාටත් කායික වේදනා දැනෙනව. වේදනාව නිසා උපදින්නෙ දෘෂ්ඨියෙන් තොර ද්වෙශ සිතිවිල්ලක්. ද්වේශ සිතිවිල්ලකින් තම කය රැක ගනීමට උත්සාහ දැරීම ‘මමත්ව දෘෂ්ඨියෙන්’ කටයුතු කිරීමක් ලෙස සලකීම සුදුසු දැයි විමසා බැලියයුතු වේ.

“මම කියා කෙනෙක් නැත” කියන මත වාදය ගොඩක් ප්‍රසිද්ධ එකක්. මම කියා කෙනෙක් “නැත” කියන වාදය වඩාම සමීප වෙන්නෙ ‘මක්ඛලී ගෝසාල’ කියන ආචාර්ය වරයාගෙ ‘උච්චෙද වාදයටයි’. මම කියා කෙනෙක් නැතිනම්, සත්වයා කියා කෙනෙක් නැතිනම් කර්ම වාදය බල රහිත වෙනව.

මම කියා කෙනෙක් නැත, සත්වයා නැත කියන අය කියන දෙයක් තමයි, “සත්වයා පරමාර්ථ වශයෙන් නැහැ, තියෙන්නේ නාම සහ රූප විතරයි” කියල.

මේ අය රූප කියන්නෙ සතර මහා භූත රූපයන්ගෙන් සකස් වුනු රූප 28 ට. සත්ව ශරීරය සකස් වෙන්නෙ මේ කියන රූප 28න්.

නාම කියල හඳුන්වන්නෙ වේදනා, සංඥා, සංඛාර, විඥාණ වලට. ඉතින් ඒ අයම කියන හැටියට “විඥාණය” තියෙනවනම්, ඒ කියන්නෙ සත්වයා ඉන්නව. මොකද, විඥාණය පවතින්නෙ සත්වයා තුළ විතරයි. ‘රූප’ කියන්නෙ ද්‍රව්‍යමය ස්වභාවයක්, ඒත් ‘නාම’කියන්නෙ ක්‍රියා ස්වභාවයකට. විඥාණය අයිති වෙන්නෙත් ක්‍රියා ස්වභාවයට. ක්‍රියාව දක්වන්න කරවන්නෙක් අවශ්‍යයි. විඥාණය නම් ක්‍රියාව දක්වන්නෙ සත්වයා විසිනුයි.

අපට සසර ගමනක් පවතින්නෙ, කර්මය පලදෙන්නෙ විඥාණය නිසයි. වටහාගතයුත්තේ, ‘විඥාණය’ කියන්නෙ ආත්ම සංඝටකයක් නෙවෙයි, විනාශ කලහැකි දෙයක්. සත්වයා පවත්වන්නෙ විඥාණය විසින්. සත්වයා පවතින නිසයි “නිවීම” අවශ්‍ය වෙන්නෙ. මම කියා කෙනෙක් නැත්නම් නිවීම කාවෙනුවෙන්ද.

උත්සාහයෙන් නිවන තුරු, තෘෂ්ණාව දුරු කරණ තුරු සත්වයා සසරේ සැරි සරනව. ඒ බව වටහාගෙනයි කටයුතු කලයුතු වන්නේ.

සාරාංශය

‘දැනුම යනු දෘෂ්ඨියකි’ අවබෝධයට මුල්තැන දෙන්න.

බාහිර සංඥා නිසා ශරීරය තුළට පිවිසෙන ‘අනුරූප සංඥාව’, මනසට වැටහෙන ‘සම්මත රූපයක්’ බවට පත් කරන්නේ දෘෂ්ඨිය විසිනි.

සිතිවිලි ගඟ නිර්මාණය කර දෙන්නේ දෘෂ්ඨියයි.

සංඥාවද, දෘෂ්ඨියද, චිත්තයද, විපල්ලාස වේ.

යෝනිසෝමනසිකාරය වැඩීමෙන් දෘෂ්ඨිය දුරුවේ.

එක වරකට එක වැඩක් පමනක් කිරීමට පුරුදු වෙන්න. වැඩ කිරීමට නිවැරදි අනුපිළිවෙලක් හදාගන්න.

උපාදාන තැනීමට දෘෂ්ඨියද උපකාර වේ. උපාදාන වර්ග හතරෙන්, තුනකටම දෘෂ්ඨිය මූලික වේ.

පංච උපාදානයන් නිසා මිත්‍යා දෘෂ්ඨිය ඇතිවේ.

සක්කාය යනු පංච උපාදාන ස්කන්ධයයි.

නිවනට මඟ කියන  ‘savithakka.net’

“විතර්කයෙන් ප්‍රඥාවට”