නිවන කෙබඳුද යන පැණයට, අපේ බුදුරජාණන්වහන්සේ පවා පෘථග්ජනයන් ඉදිරියේ පිළිතුරු වදාළේ නැත.

සත්වයා නිවනට යන්නේද?

නිවන යනු, හිමගිරි මුදුන, උත්තර ධ්‍රැවය, අභ්‍යවකාශය වැනි මිනිසාට යාහැකි තැනක් නොවේ. වෙනත් ආගමික මත අනුව මිනිසා දෙව්ලොව, බඹලොව යනු ඇත. එහෙත් නිවනට යාම යනු හුදු යෙදුමක් පමණි.

නිවන අවබෝධ කළ යුතුද?

නිවන යනු, අනුකළණය අවකළණය වැනි හෝ, සාපෙක්ෂතා වාදය, පරිනාම වාදය, සමාජ වාදය වැනි හෝ, මූළික අයිතිවාසිකම් නීතිය, ඉල්ලුම් සැපයුම් වක්‍රය වැනි හෝ අවබෝධ කළයුතු හෝ අවබෝධ කළහැකි සංකල්පයක් නොවේ. නිවන යනු මිනිස් නිර්මාණයක් නොවේ.

එසේනම් කුමක් කලයුතුද?

නිවන, වින්දනය කළයුතු මහා මිහිරකි.

නිවන විඳගන්නේ කෙසේද?

නිවන ලෙස විඳින්නේ නිර්වාණ ධාතුවයි. මිනිසා තැනුනු පරමාර්ථ ධර්ම සතරකි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යනුවෙනි. ඒ අනුව නිර්වාණ ධාතුව යනු අප අසලම ඇති දෙයකි.

ඇසෙන් – රූප ධාතුව,

කණෙන් – සද්ද ධාතුව,

නාසයෙන් –  ගන්ධ ධාතුව,

දිවෙන් – රස ධාතුව,

කයෙන් – ස්පර්ශ ධාතුව,

මනසින්(මොළයෙන් ) – ධම්ම ධාතුව,       රසවිඳීම මිනිසාට හුරු පුරුදු දෙයකි.

සිත් සකස් කිරීමට උපකාර වන චෛතසිකද, රූප සමහරක්ද, නිර්වාණ ධාතුවද ධම්ම ධාතුවට අයත්ය. මෙකී චෛතසික සහ රූප සියළු දෙනාගේම මනසට දැනෙන අතර, අකුසල සිතිවිලි ජාලයෙන් ඉවත්ව කුසල සිතිවිලි ජාලය පරිශීලනය කරණ අයට නිර්වාණ ධාතුව විඳින්නට ලැබෙනු ඇත.

මනසින් රස විඳීම ලෙස කවුරුත් දන්නා ආකාරය වන්නේ පරිකල්පනය රස විඳීමයි. එනම් සිහින මැවීමයි. නිවන එවැනි සිතිවිල්ලක් නොවේ. ඇසට ආලෝකය මෙන් මොළයට නිර්වාණ ධාතුව දැනේ.

අපට නිවන නොදැනෙන්නේ ඇයි?

දෑස වසා සිටින විට, ආලෝකය ගතපුරා ගැටුනද නොපෙනේ. කණ වසා සිටින විට, ශබ්දය සිරුර විනිවිද ගියද නොඇසේ. මුව වසා සිටින විට, මී පැණි බඳුනක ගිල්වා තැබුවද රස නොදැනේ. මෙලෙසම නීවරණ ධර්මයන් විසින් මනස වසා සිටින තාක් ප්‍රඥා ඉන්ද්‍රිය සකස් නොවන නිසා නිර්වාණ ධාතුව නොදැනේ.

නිර්වාණ ධාතුව දැනගැනීමට නීවරණ දුරු කළ යුතුද?

යමෙකු සෝවාන් ඵලයට පත් වීමේදී නිර්වාණ ධාතුව මිහිර විඳගැනීමට හැකිවේ. මේ වනවිට දුරුවී ඇත්තේ විචිකිච්චා නීවරණය පමණි.

සියළු නීවරණ දුරු කිරීමෙන් රහත් ඵලය හිමිවේ.

රහත් ඵලය කෙබඳුද?

රහතුන්වහන්සේ, පංච ඉන්ද්‍රිය හා බැඳුනු බාහිර ස්නායු පද්ධතියෙන් මිදී, මධ්‍ය ස්නායු පද්ධතිය මත සිත පවත්වමින්, නිර්වාණ ධාතු මිහිර නොඅඩුව විඳී. කය පවතින ස්වභාවය, අපි දිනපතා අත් විඳින ගැඹුරු නින්ද මෙනි. නින්දේදී අපට නොපෙනේ, නොඇසේ, නොදැනේ. මොළයෙන් නිකුත්වන තරංග ස්වභාවය ඩෙල්ටා අගය ගනී.  ගැඹුරු නින්ද මෙනි.

සෝවාන් ඵලයට පත් වන්නේ භාවනාවෙන්ද?, දහම් ඇසීමෙන්ද?.

දහම් ඇසීමෙන් හා ප්‍රඥාව දියුණු කිරී මෙනි. සමහරෙකුට භාවනා කිරීමද අවශ්‍ය වේ. භාවනා කළ යුත්තේ යම් සිතිවිල්ලක සිර වීම පිණිස නොව අකුසල සිතිවිලි ජාලයෙන් මිදීම පිනිසය.

ප්‍රඥාව යනු කුමක්ද?

ප්‍රඥාව යනු මොළයේ ඉදිරිපස කොටස් ආශ්‍රය කරගත් ඉන්ද්‍රිය පංතියකි. ප්‍රඥාව පියවර හතරකදී සංවර්ධනය වේ. බුදුදහම ප්‍රඥාව ඇත්තන්ටය. (මෙය දැනුම නිසා වර්ධනය වන බුද්ධිය නොවේ. )

නිවන ( නිර්වාණ ධාතුව  ) රසවිඳීම පිණිස කුමක් කළයුතුද?

1. නිසල සුවයට කැමති වියයුතුය.

2. අකුසල අත්හලයුතුය.

3. චේතනා පිරිසිදු වියයුතුය.

4. ශ්‍රද්ධාව වැඩියයුතුය.

මෙලෙස කටයුතු කිරීමේදී ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තම චරිත ස්වභාවය අනුව අඩු වැඩි වශයෙන් වර්ධනය වේ. ප්‍රමාණවත් ප්‍රඥාවක් වැඩුනු පසු පංච ඉන්ද්‍රියයෙන්  සිත මිදුනු මොහොතක අහඹු ලෙස නිර්වාණ ධාතුව සිතට ග්‍රහණය වේ.