නිතර ඇසෙන මේ වචන වලින් අදහස් වන්නේ එකම දෙයක්ද, නො එසේනම් විවිධ අර්ථ දෙන වචනද යන්න නිතර කතාබහට ලක් වන්නකි. පින සහ කුසලය එකම අර්ථයෙන් දක්වා ඇති අවස්ථාද ඇත.

අප යෝජනා කර සිටින්නේ ‘පින් පව්’ සහ ‘කුසල්  අකුසල්’ අතර සැලකියයුතු වෙනස් කමක් ඇති බවයි.

පින් – පව් පිළිබඳ සංකල්ප සෑම ආගමකම සහ සංස්කෘතියකම දක්නට ඇත. ඊට බොහෝ ගැඹුරු කුසල් – අකුසල් සංකල්පය විස්තර කෙරෙන්නේ බුදු සසුන තුළ පමණි.

පින් සහ පව් පළ දරණ බව කියා ඇතත් එය පළ දරන ආකාරය තහවුරු කර නැත. සිදු වන්නේ පළ දරණ බවට උදාහරණ පෙන්වාදීම පමණි.

එහෙත් කුසල් අකුසල් පළ දරණ ආකාරය කරුණු සහිතවම පෙන්වා දී ඇත. පින් පව් පළ දරණ ආකාරය පෙන්වා දෙන්නේද කුසල් අකුසල් අනුවමය. පින් ලෙස සලකන සමහර ක්‍රියා ‘අකුසල’ බව සියුම්ව විග්‍රහ කිරීමේදී පෙනෙනු ඇත.

පින් – පව්

‘හදවත පිනා යාම පින නම් වේ” යනුවෙන් බුදු දහමෙහි සඳහන්ව ඇත. පින පිළිබඳව සෑම ආගමකම සංස්කෘතියකම විස්තර කෙරේ. ඒ යහපත් ක්‍රියා වශයෙනි. ‘පව’ යනු අයහපත් ක්‍රියාවයි. එම සංකල්පය අනුව පින පව වර්ග කරනුයේ ක්‍රියාවක ප්‍රතිඵලය අනුවය.

වර්තමානයේ නීති පද්ධති සකස් කෙරෙනුයේද ක්‍රියාව දේස බලමිනි. ‘පව්’ ලෙස සම්මත සමහර දේ නීතියෙන් අනුමත කර ඇත. එවිට එය පවක් නොවන සමාජ චාරිත්‍ර බවට පත් වන අවස්ථාද ඇත.

පින සහ පව සම්මුතියෙන් තීරණය කෙරුණු නිසා ලෝකයේ විවිධ සංස්කෘතීන් අතර පින් පව් පිළිබඳ වෙනස් කම් ඇත. මත් කාරක භාවිතය, බිලි පූජා දීම ‘පින්’ ලෙස සලකන සංස්කෘතීන්ද ලොව ඇත. බුදු  දහම එවැනි දේ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මාංශ වෙළඳාම, සත්ව වෙළඳාම, වස විස වෙළඳාම, මත් ද්‍රව්‍ය වෙළඳාම,  අවි ආයුධ වෙළඳාම ආදිය නුසුදුසු වෙළදාම් බව දක්වා ඇත. එහෙත් ඒ නීතියෙන් අනුමත ඉහල ලාබාංශ ලබන ව්‍යාපාරයෝය. ‘පව්’ ලෙස සම්මත ක්‍රියාවක යෙදීමෙන් බොහෝ ධනය රැස්වීම පිනක් ලෙස සැලකීම වරදකි. මිත්‍යා දෘෂ්ඨියකි.

සිත පිනායාම පින නම් වේ. ඒ අනුව සිත පීඩාවට පත් වීම පව යි. තමන්ට ලාබ සත්කාර ලැබීම, තරඟ දිනීම, පෙම්වතුන් පෙම් වතියන් මුනගැසීම සිත පිනා යන කාරණාය. මෙවැනි ‘ඒ මොහොතේ පලදරන’ දේ පින් ලෙස සලකන පිරිස් ද සිටිති. එවැනි දේ සමාජ සම්මතයන් අනුව තීරනය කර ගනු ඇත.

අනුන්ට උපකාර කිරීම පිනක්, යහපත් ක්‍රියාවක් බව කවුරුත් පිළිගන්නා කරුණකි. එහෙත් යම් සමාජමය හේතූන් මත කොන් වූ අයෙකුට උපකාර කිරීම පවක් වන අවස්ථා බොහෝය.

කෙනෙකුට පහර දීම, අත පය කැපීම පවකි. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර ලෙසද එවැනි දේම සිදු කරති. ක්‍රියාවන් දෙස බලා පින් පව් විග්‍රහ කරන්නට යාමේදී ව්‍යාකූල අවස්ථා ඇති වන බව තේරුම් ගත යුතුය.

සිත පිනා යාම නම් මොළයෙහි ‘ රිවෝඩ් සර්කිට්’ කලාපය සක්‍රිය වීමයි. මෙහිදී ‘ඩොපමින්’ නම් රසායනිකයේ ක්‍රියාකාරිත්වයද ඉතා වැදගත් වේ. ‘සේරටොනින්’ සහ ‘ඔක්සිටොසින්’ යන නම් ඇති රසායනිකයෝද සතුට ඉපදවීමේදී උපකාර වෙති. ජාන සැකැස්ම අනුව කෙනෙකු ලබා ඇති ‘ඩොපමින් රිසෙප්ටර්’ නම් කොටස් ද සතුට ඉපදවීමට සහයෝගය දක්වති. මෙය පින පව අනුව නොව ‘බීජ නියාමය අනුව’ ලබන්නකි. මෙ කී ඩොපමින් රිසෙප්ටර් බහුලව පිහිටා ඇති අය සතුට සොයා බොහෝ වෙහෙස වෙති. ‘පින’ ඇත්තේ ඔවුන්ට දුරිනි.

යමෙකු තමාට හෝ අනුන්ට පීඩා සිදු කරන්නේ , මොළයේ ඇති ‘ෆනිෂ්මන්ට් සර්කිට්’ නම් කොටස සක්‍රිය කර වීමෙනි. මෙහි ‘ඇඩ්‍රිනලින්’ හොර්මෝනය ක්‍රියාත්මක ව්වේ. ආවේගය අනුව අනුන්ට පීඩා කරන අතර, ද්වේශය නිසා තමන්ට පීඩා සිදු වේ.

තමන්ට පීඩා සිදු කර ගැනීම පින ලෙස සලකන සංස්කෘතීන් ද ඇත. සමට කටු ගසා ගැනීම, ගින්නෙන් පුළුස්සා ගැනීම, දුෂ්කර වෘත රැකීම එලෙස තමන්ට පීඩා කර ගන්නා අවස්ථාවන්ය. ඔවුන්ගේ මතයට අනුව එය පිනකි.

පින පල දීම

පින පල දීම පිළිබඳව විවිධ මත වාද ඇත. කුඩයක් දනට දීමෙන් සෙවන ලැබෙන බව, පාවහන් දන් දීමෙන් පාද ආරක්ෂා වන බව ආදී නියති වාද බොහෝය. දානයට ආනිසංස ඇති නමුත් නියති වාද පිළිගත නොහැකිය.

බුදු දහම අනිත්ය වාදයකි. අනිත්‍ය යන වචනයේ අදහස, විනාශ වීම, ස්ථිර නොවීම, නියත නොවීම, අනපේක්ෂිත බව ආදී බොහෝ ආකාර වලින් වටහා ගත් යුතුය. ඒ අනුව පින් කමට ආනිසංස මෙලෙස බව පැනවීම සුදුසු නැත.

සෑම ආගමකම යහපත් ක්‍රියා අගය කරන නමුත් ඒවා පල දරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඇත්තේ බුදු දහම තුල පමණි. බුදු දහමෙහි ද ආනිසංස ලබන පුණ්‍ය ක්‍රියා 10ක් දක්වා ඇත. ඒ ‘ දස පුණ්‍ය ක්‍රියා’ ය. බුදු දහම උගන්වන්නේ ‘කර්මය සහ කර්ම ඵලය දැන’ දන් දෙන ලෙසය. නොදැන දන් දීමෙන් සමහර විටෙක මුදලත් අහිමි කරගෙන අකුසල රැස් කරගන්නට සිදුවනු ඇත.

කර්මය සහ කර්ම ඵලය නොදත්, මෝහය නිසා උපන් භක්තියෙන් යුතුව දන් දෙන කෙනෙකුට පවා සසර වඩන ආකාරයේ පින් පල දීම සිදුවේ. තමන් අදහන ආගමට අනුව යාඥා කිරීම, යාතිකා කීම, ස්තෝත්‍ර කීම, භජන් කීම, කවි ගාථා පිරිත් කීම, ගීතිකා කැරොල් පසන් කන්තාරු කීම ආදිය නිසාද පින සිදුවේ.  මෙවනි පුණ්‍ය ක්‍රියා නිසා ලෝභයද, මෝහයද වැඩෙනු ඇත. ශරීරයට දුක් දෙන ආකාරයේ වෘත රකීමෙන් ද්වේශය වැඩෙනු ඇත.

මෙවැනි මූලික ආකාරයේ පින් කම්, ‘පින් කම්’ ලෙස පෙනෙන්නේ ‘ඉස්සාව සහ මච්චරිය’ යන අකුසලයන් පාලනය කරන නිසාය. මෙය ඔවුන් නොදැන සිදු වන්නකි.

යමෙකු වෙතින් ඊර්ෂ්‍යාව සහ මසුරු කම යන දුර්ගුන තාවකාලිකව හෝ මැකී ගිය විට ඔහු යහපත් මිනිසෙකි. ඊර්ෂ්‍යාව සහ මසුරු කම යන මානව විරෝධී ආකල්ප පසු බැස යාම නිසා ඔහු වටා ආකර්ෂන බල සකස් වේ. ඔහුගේ මොළයෙහි “ටෙලි කයිනසිස්”  ආකාරයේ ක්‍රියා කාරකම් සකස් වේ. මේ නිසා භව භෝග සම්පත්තීන් ඔහු වෙත ආකර්ෂණය වේ. ජනයාට ප්‍රිය වේ. ජනයාට ප්‍රිය, භව භෝග සම්පත්තියෙන් ආඩ්‍ය අයෙකු ‘පුණ්‍ය වන්තයෙකි’ යි සමාජය හඳුන්වති. එහෙත් ඔහුගේ මිසදිට පහව නැත.

මෙවැනි වූ පින් සහිත සෞභාග්‍යමත් මිනිසෙකු දකින ඊර්ෂ්‍යාවෙන් සහ මසුරු කමින් පීඩිත අයෙකු සට කපට කමින් ධනය රැස් කරයි. මසුරු කමින් ධනය තර කරයි. ගසා කෑම, සූරා කෑම, සොරා කෑම, මංකොල්ල කෑම ආදී සියළුම ආකාර වලින් ධනය වර්ධනය කරයි. ධනය රැස් කිරීමට වාසි දායක වන ලෙස නීති පවා සකස ගනිමින් මහා ධන කුවේරයෙකු වේ. ප්‍රචාරය පතා දුගීන්ට මහ දන් දෙයි.

ඔහුගෙන් අනුග්‍රහ ලබන දුගියෝ කුමක් කියයි ද. ‘ මෙ නම් මහා පුණ්‍ය වන්තයෙකැයි’ කියති.

සත්‍යය වටහා ගැනීම අතිශයින් දුෂ්කරය. පුණ්‍යවන්තයෝ සෞභාග්‍ය මත්ය. සතුටින් සිටිති. කාසි, මිළ මුදල් අතින් මහ ධනවතුන් නොවේ. ඔවුහු දන් දීමෙන්ම දුප්පත්ව නමුත් සතුටින් සිටිති.

මසුරු සිත් ඇත්තෝ සටකපට කමින් කාසි මිළ මුදල් සොයති. ඉඩකඩම් යාන වාහන ගනිති. ඔවුහු සෞභාග්‍ය රහිතය. තම දේපොල ආරක්ෂා කර ගැනීමේ නිරන්තර සටනක යෙදී සිටිති. පීඩිත මනසින් ම කල් ගෙවති.

“සන්තුට්ඨිං පරමං ධනං’ කීවේ එබැවිනි.

බුදු දහම කාසි මිළ මුදල් රැස් කිරීම කෙරෙහි උනන්දු නොකරයි. ඒ, මිළ මුදල් සමඟ අකුසල ධර්ම බැඳී ඇති බැවිනි.

“සොරා ළඟ ධනය ඇත, මස් මරන්නා ළඟ මස් ඇත” යන කියමන විමසා බැලීම සුදුසුය. යමෙකු ළඟ මිළ මුදල් රැස් වේනම්, නීතියෙන් අනුමත වුවද යම් අසාධාරන ක්‍රියාමර්ගයක්  ඔහුට උපකාර වන බව පැහැදිලිය.

මිළ මුදල් යනු පිනක් නොව පවකි.

කර්මය පර්ම ඵලය නොදැන පින්කරන මිසදිටු ඇත්තෝ අතරින් සමහරු ඊර්ෂාව, මසුරු කම අත්හැර, ද්වේශය යටපත් කර ලෝභ සිත් වැඩීමෙන් පංච කාම සම්පත්තිය සහිත දිව්‍ය ලෝක වල උපත ලබති. මෙලොව උපන්නේ වුව යස ඉසුරු ලබති.

ලෝභය සහ ද්වේශය යන දෙකම යටපත් කරගත් ඇත්තෝ ධ්‍යාන ලබා භ්‍රහ්ම තත්වයට පත් වේති.

දුෂ්කර වෘත සමඟ ද්වේශය වඩන ඇත්තෝ අසුර බව ලබති.

ඊර්ෂාව, මසුරුකම වඩමින් මෙලොව භෞතික සම්පත රැස්කල ඇත්තෝ සියල්ල අතහැර අපා ගත වේති.

පව් පල දීම

පව් කම් කරන ඇත්තෝ සෑම විටම ඊර්ෂාව සහ මසුරු කම පෙරදැරිව ද්වේශ සිතින් කටයුතු කරති. ඔවුහු මොළයෙහි ඇති ‘ෆනිශ්මන්ට් සර්කිට්’ කොටස බහුලව භාවිතා කරති. පාතාල ක්‍රියා කාරීහු මෙවැනිය. සමාජ ක්‍රමය තුළ ඔවුහු සංවිධානාත්මක බැවින් බොහෝ මිළ මුදල් සහිතව ජීවත් වෙති.

මසුරු බව නිසා ඔවුහු බොහෝ බිය පත්ය. බියෙන් කල් ගෙවීම නිසා මොළයේ ‘ඇමිග්ඩලා’ නම් කොටස කෘෂ වේ. එබැවින් නිතර කෝපයට පත් වේ. මේ හේතුවෙන් මොළයේ ‘ග්‍රේ මැටර්’ ප්‍රතිශතය පහල බසී. ඒ නිසාම දරුණු අපරාධ කරුව්න් වන ඔවුන් ඝාතනය රස විඳින්නන් බවට පත් වේ. (දාමගත අපරාධ කරුවන/ ඝාතකයන් ගේ හෙවත් “සීරියල් කිලර්ස්” ලා ගේ මොළයේ ‘ග්‍රේ මැටර්’ ප්‍රමාණය ඉතා අඩු බව පරීක්ෂන වලින් තහවුරු වී ඇත. )   මානසික පීඩාව දුරු කර ගැනීමට මතට ඇබ්බැහි වෙති. අපා ගත වීමට පෙර සිටම මනසින් දැවෙමින් සිටිති.

පුණ්‍ය ක්‍රියා සහ පාප ක්‍රියා යන දෙකම භෞතික ක්‍රියාවන් වන බැවින් නීතියට යටත් ය. සමහර පුණ්‍ය ක්‍රියාවන් නීතියෙන් තහනම් වන අතර, සමහර පාප ක්‍රියාවන් නීතියෙන් නිදහස්ය.  සතුන් මැරීම පාපයකි. නමුත් සමහර සතුන් මස් පිනිස ඇති කිරීම, සත්ව වෙළඳාම සහ මස් වෙළඳාම නීතියෙන් නිදහස්ය. වසංගත කාල සහ යුධ කාල වලදී මහ පින් කම් තහනම් වූ අවස්ථා ඇත.

පුණ්‍ය ක්‍රියා වලට සහ පාප ක්‍රියා වලට එවෙලේම ප්‍රතිඵල ලැබෙන්නේය. පුණ්‍ය ක්‍රියා සඳයා ප්‍රශංසාද, පාප් ක්‍රියා සඳහා අවලාදද එවෙලේම ලැබේ. වෙනත් ප්‍රතිචාරද ලැබෙනු ඇත. ඒ, භෞතික ක්‍රියාවන් සෙසු ලෝකයා දකින බැවිනි.

කුසල සහ අකුසල

කුසල සහ අකුසල් යනු බුදු දහමෙහි පමණක් විස්තර කෙරෙන ගැඹුරු කාරණාවකි. කුසලය සහ අකුසලය යනු චෛතසික පිළබඳ බෙදීමකි. චෛතසිකයක් යනු සිත ඇති කිරීමට හේතුවන ක්‍රියා ස්වභාවයන් ය.

පින සහ පව ක්‍රියාවන්ය. ක්‍රියාවක් සිදු කරන්නේ සිතා බැලීමෙන් පසුවය. සිතා බලන්නේ සිතිවිලි අනුවය. සිතිවිලි උපදවන්නේ සිතිනි. සිත ඉපදවීමට උපකාර වන ක්‍රියාවෝ චෛතසික නම් වෙති. පුණ්‍ය ක්‍රියා සහ පාප ක්‍රියා මෙහෙයවන චෙතනාව චෛතසිකයකි.

පින් හෝ පව් ක්‍රියා පිටට පෙනේ, කුසල අකුසල චේතනා පිටට නොපෙනේ. කපටි, යටි අරමුණු ඇති සමහරු තම පාප චේතනා සඟවාගෙන පුණ්‍ය ක්‍රියා ලොවට පෙන්වති.

‘පින් සහ පව්’ රඟ දැක්වියහැක. කුසල අකුසල චේතනා රඟදැක්විය නොහැක. සත්‍යයම වේ.

බුදු දහමට අනුව කර්මය යනු චේතනාවය. කුසල සහ අකුසල ලෙස බෙදා වෙන්කර ඇත්තේ කර්මය නම් වූ චේතනාවය.

කය රකින, කය සනසන, කය පිනවන චේතනාවෝ අකුසල චේතනාවෝය. සිත රකින සිත සනසන, සිත දියුණු කරවන චේතනාවෝ කුසල චේතනාවෝය.

බුදු දහමෙහි නිවන සොයන මාර්ගය වන්නේ අකුසල මාර්ගය අතහැර සිත හෙවත් කුසල මාර්ගය සංවර්ධනය කිරීමය.

බොහෝම ප්‍රවේශමෙන් තෝරා බේරාගතයුතු සංකීර්ණ කාරණය වන්නේ සිතත් කයත් සමබරව පවත්වාගන්නා අතරම සිත දියුණු කිරීමය. එය මධ්‍යම ප්‍රතිපදාව නම් වේ.

උපතේ සිටම ළදරුවෙකු පළමුව ලබන්නේ කය පිළිබඳ වැටහීමයි. එනම්, පළමුව කියාත්මක වන්නේ අකුසල චෛතසික කාණ්ඩයයි. කුසලයට මාරු වන්නේ වැටහීමක් ලැබුනොත් පමණි. අබුද්ධෝත්පත්ති කාලයක නම් කුසලය ගැන අදහසක් හෝ ඇති වේ යැයි කිව නොහක.

අකුසල කාණ්ඩයේ චෛතසික 14කි. ( ‘සවිතක්ක සමාජය’ අභිධර්ම පාඩම් මාලාව බලන්න. ) අකුසල කාණ්ඩයේ යෙදෙන ප්‍රධාන අකුසල මුල් තුන වන්නේ ලෝභය, ද්වේශය සහ මෝහයයි.

යම් පුද්ගලයෙකු, තමන් අසා ඇති පරිදි දස පුණ්‍ය ක්‍රියා වල යෙදුනද, ක්‍රියාවට මුල් කරගත්තේ ලෝභ චෛතසිකය නම් ප්‍රතිඵලය ලෝභ සහගත කර්මයකි.

සම්මත පුණ්‍ය ක්‍රියාව කුමක් වුවත් මුල් කරගත්තේ ද්වේශ චෛතසිකය නම් , ප්‍රතිඵලය වන්නේ ද්වේශ සහගත අකුසල කර්මයකි. අනුන්ගේ කීමට, මෝහය මුල්ව පින් කමට සහභාගි වීනම් ප්‍රති ඵලය මෝහ සහිත අකුසල කර්මයකි.

බොහෝ දෙනෙකු පින් කම් කරනුයේ දෘෂ්ඨි සහිත ලෝභ සිත් වලිනි. එවිට ප්‍රතිඵලය ලෝබ කර්මයකි. එය ගැනෙන්නේ අකුසල කර්මයක් ලෙසටය. ඒ මෙසේය. කෙනෙකු මතු සසරේ හිසට සෙවනක් ලැබෙන්නට සිතා, කුඩයක් පූජා කරයි නම්, ඔහු පූජාව කරන්නේ ලෝභ චේතනාවකිනි. කුඩයනිසා සෙවනක් ලැබේය යන දෘෂ්ඨියද ඇත. ඒ නිසා සිදුවන්නේ අකුසලයකි. නමුත් ඔහු කලේ වටිනා පින් කමකි. පින නිසා මතු සසරේ ප්‍රතිලාභ හිමිවේ. අකුසල් නිසා නිවන දුරස් වේ. මෙවැනි සියුම් ලෝභය නිවනට එරෙහිව සසර වඩවයි.

කෙනෙකු ලෝභ සිතින් යම් පහත් ක්‍රියාවක් කලේනම් එය පවකි. අකුසලයකි. එහි ප්‍රතිඵලය ලෙස ඔහු ප්‍රේත අපායට පමුණුවනු ඇත.

පැවිදි සංඝයා වහන්සේ නමක් වුවද, කුසල් වැඩීම අතපසු කර ආවාසය තැනීමට කාලය බොහෝ සෙයින් වැය කරයි නම් එය ද්වේශ මූලයේ මසුරු සිතකින් කරන දෙයක් ලෙස සැලකේ. එය “ආවාස මච්චරිය” නම් අකුසලයකි. එහෙත් ආවාසය තනවා දීම ගිහිභවතුන්ට වටිනා කුසල කර්මයකි.

ඉහත විස්තරය අනුව තේරුම් ගතයුත්තේ මහා පින් කම් වුවත් යෙදෙන චේතනාව අනුව ප්‍රතිඵලය වෙනස් වන බවයි. නිවන ප්‍රර්ථනා කල පමණින් ඉටු නොවේ. ඒ සඳහා චේතනා සකස් කල යුතු වේ. සෑම පින් කමකින්ම කුසල් නොලැබෙන බව දතයුතුය.

කර්මය සහ කර්ම ඵලය දැන පින් කම් කලයුතු වන්නේ එබැවිනි.

කුසලය වැඩෙන පරිදි අකුසලය මඟහැර පින් කමක් කිරීම පහසු නැත.තුන් සිත පහදවා පින් කම් කලයුත්තේ එබැවිනි. පින් කම නිසා පින් සිදු වීමට නම්, ඊර්ෂ්‍යාව සහ මසුරු කම අත්හැර පින් කම කල යුතුය. එසේ නොකොලොත් සිදු වන්නේ පවකි. පින් කමට පෙර සිටම ඊර්ෂ්‍යාව සහ මසුරු කම අතහර පින් කමට සූදානම් වියයුතුවේ. පැහැදි සිතින්ම පින් කම කල යුතුය. ද්වේශයට පැමිනීමට ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවෙන් මනාව සංවිධාන කටයුතු කල යුතුය. පින් කමෙන් පසුවද කෝපයට, ද්වේශයට ඉඩ නොදී සතුටම වැඩියයුතුය. අනුන්ටත් පින් අනුමෝදන් කලයුතුය. අතින් අතට දන්දෙන්නා සේම හිතින් හිතට පින් දිය යුතුය. පින් කම කිරීමෙන් සතුට ලැබෙන්නා සේම  පින් අනුමෝදන්කරවීමෙන්ද සතුටක් උපදී.

පුණ්‍ය කර්මය කුසල කර්මයක් කර ගැනීමට නම්, අලෝභ, අදෝස, අමෝහ කුසල මුල් සහිත කුසල චෛතසික උපදවා ගතයුතු වේ. කෙනෙකුට සිතූ පමණින් හෝ කටපාඩම් කරගත් පමණින් කුසල චෛතසික උපදින්නේ නැත.

ඉරිසියාව සහ මසුරුකම යටපත් කරගෙන පින් කම් කිරීමට හැකියාව ඇති කෙනෙකුට, කුසල චෛතසික ඉපදවීමට ඇති පහසුම ක්‍රමය වන්නේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමය. ශ්‍රධද්ධාව ඇති කර ගැනීම නිසා කුසල චෛතසික ක්‍රියාත්මක වීම ආරම්භ වේ. එවිට අලෝභ, අදෝස(මෛත්‍රී ), අමෝහ (ප්‍රඥා ) චෛතසික ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

තමා බෞද්ධ යැයි කීමට අඩුම තරමින් මේ තත්වය හෝ ලැබිය යුතුවේ.

කුසල අකුසල ඵල දැරීම

කුසලය සහ අකුසලය චෛතසික ධර්මයෝය. සිත් තනන හේතුය. යමෙකු ඉරිසියාව සහ මසුරු කම යන අකුසල ධර්ම යටපත් කරගෙන දාන්, ශීල, භාවනා වඩන විට සහ දහම් අසන විට ඔහු තුළ කුසලය වර්ධනය වේ. එවිට නිතර කුසල සිතිවිලි පහල වීම සිදුවේ. සැබෑවටම කරුනාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ඇතිවේ. ( කුසල් සිත් නැති කාලයේ මෛත්‍රිය ලෙසින් පෙනී සිටින්නේ ‘වංචක රාගයයි’ ) ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය සහ ප්‍රඥාව මොළය තුළ ඉන්ද්‍රිය කලාප ලෙසින් වර්ධනය වේ. බොහේ සෙයින් ප්‍රඥාව වර්ධනය කල විට මොළයෙහි ඉදිරිපස කොටස වන ‘ඔර්බිටෝ ෆ්‍රොන්ටල් කොර්ටෙක්ස්’ කොටස වර්ධනය වේ. ප්‍රඥාව නිසාද ‘ඩොපමින්’ නැමැති සතුට ගෙනෙන රසායනිකය ශ්‍රාවය වීම සිදුවේ. ප්‍රඥාව ලද තැනැත්තා තමා තුළම සතුට උපදවා ගනිමින් සෑම විටම සටුටින් සිටී.

නිතර කුසල සිත් උපදවන නිසා මරණ මොහොතේදී ද කුසල සිතක් ලබා යහපත ප්‍රතිසංධියකට පත් වීමේ වාසනාවද ඔහුට ඇත.

සෑම අකුසලයම සත්වයා නිරයට පමුණුවන්නේ නැත. නමුත් සසර තුළම රඳවන්නේය. ලෝභ්, දෝස මෝහ වැඩීම නිසා ලැබෙන ප්‍රතිඵල පෙර සඳහන් කර ඇත.

යමෙකු පාප ක්‍රියා කලද, චේතනාව අකුසල නොවේනම් අපාය ගාමී නොවේ. ‘අංගුලිමාල’ නම් ඝාතකයා චේතාන්විතව ඝාතනයේ නොයෙදුන බැවින් බලවත් අකුසලයක් නොවීය. ( වර්තමාන සම්මත නීතියට අනුව නම් උපක්‍රම යොදා ඝාතනය කිරීම ‘චේතාන්විත ඝාතනයක්” ලෙස සැලකේ) මෙයින් පෙනෙන්නේ ‘චේතනාව’ නිවැරදිව දැනගැනීම දුෂ්කර බවයි.

චේතනාව යනු කර්මයයි. පෙර සිතක චේතනාව කර්මය ලෙසින් ක්‍රියාත්මකව පසු සිත් සකස් කරයි. කර්මයට අනුව ජීවිත රූපය සහ හෘදය රූපය ආදී කර්මජ් රූප සකස් වේ. කර්මජ රූප ශක්තිමත් වීම හෝ දුර්වල වීම කර්මයට අනුව සිදුවේ. එලෙස මේ භවයේදීම කර්මය පලදීම සිදුවේ.

වැඩියෙන් භාවිතා වන චෛතසික වැඩියෙන් වර්ධනය වේ. “බාවිතෝ බහුලීකතෝ’ කීවේ එබැවිනි. නිතර භාවිතාවන චෛතසිකය අනුව නිතර සිත් සකස් වීම නිසාඅ ප්‍රතිසන්ධිය ලැබීනටද උපකාර වේ.

සෑම පිනම කුසල නොවේ , නමුත් සෑම කුසලයම පිනකි. කර්මය කර්ම ඵලය දැන කුසල් කරන තැනැත්තා අමුතුවෙන් පින් කම් කලයුතු නොවේ.

“සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උප සම්පදා..”