අපි අහල තියෙන්නෙ, අපේ අමාමෑණී තිලෝගුරු දසබල ධාරී සර්වඥ සම්මාසම්බුදු බුදුපියාණන්වහන්සේ ජීවමානව මෙලොව වැඩවාසය කරන කාලෙදි සදහම් අමාවැසි වස්සවනව කියල. ඉතින් එහෙම වෙලාවක අපේ බුදුරජාණන්වහන්සේගෙ මහා කරුණා ගුණෙන් පිරුණු සුමිහිරි හඬින් බණ අහන පිරිස අතරෙන් සිය ගණන්, දහස් ගණන් එකවර සෝවාන් ඵල ලබනව කියනව.

ඒ වගේ ලොකු පිරිස් එක සැරේට සෝවාන් ඵල ලබනවානම්, මාර්ග ඵල ලබන එක මහා ලොකු අමාරු දෙයක් වෙන්නත් විදියක් නෑනේද කියලත් හිතෙනවා. මොකද කියනවානම්, අපේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන විට ඒ තැන්වල බණ ඇසුවේ බෞද්ධ නොවන අය, බුදු දහම ගැන නොදන්නා අය. ඒ විතරක්මත් නෙවෙයි, ඒ අය නොයෙක් බමුණු මතවාද වල පැටලිලයි හිටියෙ. ඉතින් එහෙව් අයට බණ දහම් වැටහිලා මාර්ග ඵල ඥාණයත් ලබාගන්න පුළුවන් වෙනව නම් ඇයි මේ අපිට බැරි.

අපි උපතින්ම බෞද්ධ අය. අපි මවුකුස ඉන්න කාලෙ ඉඳලම පිරිත් අහනව. ළමා කාලෙ ඉඳලම බුදුන් වඳිනව. දහම් පාසල් යනව. බණපොත් කියවනව. බණ අහනව. හැබෑවටම අපි බෞද්ධ ආගම අදහන මිනිස්සු තමයි. ඒත් අපට මාර්ග ඵල නැත්තෙ ඇයි.

නෑ නෙවෙයි, අපි ළඟම තියෙනව. අපි බණ අහල, දන් දීල, මෙත් වඩල අපිට ඒ හුරුව තියෙනව. මේ ලිපිය උවමනාවෙන් කියවන්නකො. සෝවාන් ඵලය අඳුනගන්න සැබෑවටම පුළුවන් වෙනව.

අපේ අයට වැරදුන තැන තමයි, සුද්ද්ගෙ ක්‍රමේට බුද්ධාගම කියල විශයයක් කටපාඩම් කරපු එක. අනුන්ට උත්තර දෙන්න නම් ඒකෙන් පුළුවන් උනා, ඒත් තමන්ට පලක් නෑ.

හැබැයි දෙවෙනි කාරණාවකුත් තියෙනව. අපේ බුදුරජාණන්වහන්සේ ගෙ සමකාලීනයො බොහොමයක් අය බුදුන් දැක නිවන් දකින්න සසරේ පෙරුම් පුරපු අය. උද්ගටිතඥ කියන මහා ප්‍රඥාව ඇති අය, විපටිතඥ කියන මධ්‍ය ප්‍රඥාව ඇති අය ඒ අතර හිටිය. ඒ අය ඉක්මනින් රහත් ඵල ලැබුව.

අපේ බුදුරජාණන්වහන්සේ බුදුබව ලබල සදහම් දේශනා ආරම්භ කර වදාල කාලෙ වෙනකොට දඹදිව බොහොම දියුණු ආගම් තිබුනා. යෝග ලබපු, ධ්‍යාන ලබපු උත්තමයො හිටිය. ඒ අයගෙ ශිෂ්‍ය පිරිසත් බොහෝම හිටිය. එහෙම බමුණු දහම් පුරුදු පුහුණු වෙච්ච උදවිය පවා ඒ දේවල් අතහැරල බුදු දහමට ආව. එහෙම එන්න හේතු දෙකක් තිබුනා.

ඒ අය බොහොම වෙහෙස මහන්සියෙන් දුක්විඳල ලබාගත්ත ධ්‍යාන වුනත්, කවදහරි දවසක අහෝසිවෙලා යන බව තේරුම් ගත්ත නිසා.

අපේ බුදුරජාණන්වහන්සෙ දේශනා කර වදාල ක්‍රමය හරිම ලේසි සරල ක්‍රමයක් නිසා

අපේ බුදුරජාණන්වහන්සේ ලබල තිබුනු සර්වඥතා ඥාණය කියන්නෙ, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට, දෙවියෙක්ට, බ්‍රහ්මයෙක්ට තියා ප්‍රඥාවෙන් අගතැන් පත් මහා සැරියුත් මහා රහතන්වහන්සේටවත් හරිහැටි හිතාගන්න බැරි මහා පුදුමාකාර, හරිම අසිරිමත්, කියන්න වචන නැතිතරම් අති විශිෂ්ඨ  මහා ප්‍රඥාවක්.

සාදු… සාදු.. සාදු..

ඒ වගේ මහා ප්‍රඥාවක් තියෙන මහා උත්තමයින්වහන්න්සේ නමක් වෙනුවෙන් ඔළුව මඩේ ඔබාගෙන වැන්දත් පාඩු නෑ.

සාදු.. සාදු.. සාදු..

අපේ අමාමෑණී වූ අසිරිමත් බුදුපියාණන්වහන්සේ ගේ ඒ අසිරිමත් ප්‍රඥාව නිසා කාටත් වැටහෙන සරල බාසාවෙන් උන්වහන්සේ දහම දේශනා කලසේක. මිනිස්සුන්ට තේරෙණ උදාහරණ ඕනෑතරම් පෙන්වූ සේක.

අපේ බුදුරජාණන්වහන්සේ පෙන්වාදුන් නිවන කියන්නේ සාගරයක් නම්, ඒ සාගරය වෙත ගලායන සූත්‍ර නම ඇති ගංගා දහ අට දාහක් උන්වහන්සේ විසින්ම පෙන්වා දුන් සේක. කෙනෙකුට මේ ගංගාවලට බසින්න හැකිවෙන තොටුපොල ගණන කියන්න බැරි තරම්. ඒ කිව්වෙ ලක්ෂ ගණනක්.

උවමනාව ඇති කෙනෙකුට දහම් ගඟුලට බහින්න තොටුපොල ඕනෑතරම් තියෙනව. සූත්‍ර නම ඇති දහම් ගඟුල 18000 අතරින් කැමති ගඟුලක් තෝරගෙන, කැමති තොටුපොලකින් ගඟුලට බැහැල දහම් සැඩපහරට හසුවෙලා නිවන කියන සාගරයට ගසාගෙන යන්න අවස්ථාව තියෙනව.

තමන්ගෙ ශ්‍රාවකයන් වෙනුවෙන් මෙතරම් අවස්ථා කන්දරාවක් පෙන්වා දුන්නු වෙනත් කිසිම ශාස්තෲ වරයෙක් මුළු තුන් ලෝකයේම නෑ.

අපි වෙනුවෙන් මේතරම් මෙහෙයක් කළ අපගේ අමාමෑණී වූ, තුන්ලෝකාග්‍ර වූ අසමසම වූ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතය පූජාවේවා, පූජාවේවා, පූජාවේවා…

මේ ලියන අපි  නම් එහෙම කියන්නෙ මුළු හිතින්මයි, අවංකවමයි.

 කියවන ඔයාටත් එහෙම හිතන්න පුළුවන් නම්…  එන්න අපි එකතුවෙලා ඉදිරියට යමු.

……………..

අපේ බුදුරජාණන්වහන්සේ දහම් දේශනා කලේ දැනුම පිණිස නෙවෙයි. විභාග ලිවීමටවත් සහතික ලැබීමටවත් නෙවෙයි. දහමේ අරමුණ සිත නිවීමයි. ඉතින්, ඒ අනුව මාර්ග ඵල ලැබීමට මහා දහම් දැනුමක් අවශ්‍ය නැති බව උන්වහන්සෙ උදාහරණ වලින්ම පෙන්වා දුන්සේක. චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ රජෝහරණං කියන එකම එක දහම් පදය විතරක් දැනගෙන රහත් බව ලබාගත්ත. හැබැයි එහෙම වික්‍රමයක් පෑවෙ අපේ බුදුරජාණන්වහන්සේගෙ අසීමිත ගුණ බලය නිසාමයි. එහෙව් අසීමිත ගුණ බලයක් ඇති අපේ බුදුරජාණන්වහන්සේගෙ ශ්‍රාවකයන් වන අපි ඇයි මහා දහම් දැනුම්ක් කටපාඩම් කරන්නෙ. (වැඩි විස්තර – දැනුම, අවබෝධය සහ ප්‍රඥාව.)

මේ ලියන අපි බැහැපු දහම් ගඟුල තමයි කරණීය මෙත්ත සූත්‍රය, මුලින් බැහැපු තොටුපොල තමයි “මාතා යතා නියං පුත්තං” කියන ගාථාව. බොහොම කාලයක් දිය නෑවත් සැඩපහරට නම් හසුවුනේ නැහැ. ඉතිං පසුකාලෙක “මෙත්තංච සබ්බ ලෝකස්මින්” කියන තොටුපොලෙන් ගඟුලට බැස්ස. ඒ වතාවෙදිනම් සැඩපහරට අසුවුනා. එහෙම ලබපු ප්‍රතිඵල ගැනයි අද ඔයාට කියන්නෙ.

ඇත්තම කියනවනම් කරනීයමෙත්ත සූත්‍රය ඇරුනහම දම්සක් පැවතුම් සූත්‍රයත්, තයෝධම්ම සූත්‍රයත්, ගිරිමානන්ද සූත්‍රයත් බොහෝම උපකාරවුනා. අනුන්ට කරුණු කීමේදි අභිධර්මයත් වෙනත් බොහෝ ධර්ම කරුණුත් උවමනා වෙනව.

අපේ බුදුරජාණන්වහන්සේගෙ දහම වටහා ගන්න නම් දහමට අයිති මූලික අදහස්, සංකල්ප, මූලික ඉගැන්වීම් ඉතාම උවමනාවෙන් වටහාගන්න ඕනි.

චතුරාර්ය සත්‍යය දැනගැනීම

තෘෂ්ණාව ගැන දැනගැනීම

කර්මය සහ කර්ම ඵල දැනගැනීම

හේතුඵල දහම දැනගැනීම                  ඉතාම වැදගත් වෙනව.

………………

බාවිතෝ බහුලීකතෝ

කෙනෙකුට හිතෙනවනම් මේ දේවල් තමන්ට බර වැඩී කියල, එහෙම කෙනෙක් කොහොමද දහම් මගට පිවිසෙන්නෙ කියල අපි මුලින්ම බලමු.

අපේ බුදුරජාණන්වහන්සේ පහාරාද අසුරිඳු සමඟ සාකච්චාවෙදි වදාලා බුදු දහමත් සයුර වගේ කියලා, එතැනදී උන්වහන්සේ දේශනා කලේ සයුර වෙරලේ සිට ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු වන්නාසේ දහමද ඉතාම නොගැඹුරු තැනක සිට ඉතා වැඩි ගැඹුරකට විහිදෙන බවයි.

“සෝවාන් ඵලය ලබාගන්න එක ඔයතරම් ලේසිනම් අපිත් කරල බලමුකො” කියල හිතන කෙනෙක් මුලින්ම කරන්න ඕනි දේ තමයි මෙත් වැඩීම.  මෛත්‍රී භාවනාව කරනව කියල හිතාගෙන හරිබරි ගැහිල වාඩිවෙලා දිග දිග වාක්‍ය කීම නෙවෙයි අදස් කලේ. තමන්ට තේරෙන විදිහකට අනුන්ට මෙත් වැඩීමයි කරන්නට ඕනි. ඒ කිව්වෙ අනුන්ගේ සුළු සුළු අඩුපාඩු ඉවසීම, කරුණාවෙන් කතා කිරීම, උදව් උපකාර කිරීම, මුළු සිතින්ම සෙත පැතීම වගේ දේවල් ගැන.

කරණීයමෙත්ත සූත්‍රය, කඳපිරිත වගේ සූත්‍ර ගායනයත් හොඳ දෙයක්. මෙත් වැඩීම තමයි කලයුතු හොඳම දේ, කලයුතුම දේ. අපි පටන්ගත්තෙත් එහෙමයි. හැමදාම හැම වෙලාවෙම මෙත් වැඩීම කරන්න ඕනි. අපේ බුදුරජාණන්වහන්සෙ අපිට දේශනා කර වදාලෙ                 ” බාවිතෝ බහුලීකතෝ ” කියල. ඒවගේම තව දෙයක්, “අප්පමාදේන  සම්පාදේත” කියලත් වදාරල තියෙනව.

බාවිතෝ බහුලීකතෝ කියන්නෙ, බාවිතා කරන්න බහුලව බාවිතා කරන්න හැම වෙලාවෙම බාවිතා කරන්න කියන එකට. අප්පමාදේන සම්පාදේත කියන්නෙ, ප්‍රමාද වෙන්න එපා වැඩකරන්න කියල. මෙතන ප්‍රමාදය කියන්නෙ වැඩේ නවතින එකට. මෙත්සිත වඩන එක මොහොත්කටවත් නවත්තන්න එපා, හැමදාම හැම වෙලාවෙම මෙත්සිත ම පුරුදු වෙන්න. කරණීය මේත්ත සූත්‍රයේ තියෙන “තිට්ඨං චරං නිසින්නෝවා…” කියන ගාථාව කියවල තේරුම් අරන් පුරුදු වෙන්නකො.

ඔය කියන විදිහට මෙත් සිත පුරුදු වෙන්න අවශ්‍යම දේ වෙන්නෙ උවමනාව, කැමැත්ත. මේ බලවත් උවමනාවට කියනව චන්දය කියල. චන්දය බලවත් වෙලා අධිපතියෙක් වෙනව. ඒ අධිපතිය වෙන සිත් පාලනය කරල මෙත් සිතටම ඉඩ දෙනව. ඊටපස්සෙ සිතත් ඒ විදිහටම වැඩ කරන්න පටන්ගන්නව. එතකොට සිතත් අධිපතියෙක් වෙනව.  කලින් කී කෙනා චන්දාදිපති. මෙයා චිත්තාදිපති. චන්දාදිපති වෙන අරමුණකට කැමතිවීම වලක්වල මෙත් සිත දිහාවටම සිත හරවනව. චිත්තාදිපති වෙන සිත් වලට ඉඩ නොදී මෙත් සිතම සුරකිනව.

ඔයාට තේරුනාද. සෝවාන් වෙන්න හරි, රහත් වෙන්න හරි ලොව්තුරා බුදුබව ලබන්න හරි පළමුවෙන්ම ඕනි වෙන්නෙ කැමැත්ත.

චන්දාධිපති, චිත්තාධිපති  කියන මේ අධිපති වරු බලවත් කරගන්න ඒක තමයි පළමුවෙනිම අමාරු වැඩේ. මෙත් සිතින්ම වැඩ කරනව කියල වැඩේ පටන්ගත්ත වුනත් දන්නෙම නැතුව සිත වෙන අරමුනු වලට යනව. මෙත් සිත මග ඇරිල කියල දැනගන්නෙත් සෑහෙන වෙලාවකට පස්සෙ. මේ දේ කාටත් වෙනව. ඇයි එහෙම වෙන්නෙ.

සිත නොදැනීම වෙනස් වෙන්නෙ නීවරණ ධර්ම ක්‍රියාත්මක වීම නිසා. නීවරණ කියන්නෙ නිවනට මඟ අහුරන ධර්ම. ඒවා නිවනට බාධා කලාට එදිනෙදා ජීවිතයෙ කරදර බාධක බය මැද ජීවත්වන අයට තමන්ගෙ ජීවිතය රැකගන්න ගොඩාක්ම උපකාරවන ධර්ම පහක්.  (වැඩි විස්තර – නීවරණ ධර්ම.) 

කාමයෙන් බාදා වෙන වෙලාවට ඒ කාම අරමුනටත් මෙත් වඩන්න. අපි මේ වැඩපිළිවෙල කතා කරන්නෙ පිරුණුවියේ වැඩිහිටි පිරිස එක්ක නිසා කාමයේ බාදා ගොඩක්ම අඩුයි.

ද්වේශයෙන්, තරහවෙන්, කේන්තියෙන් බාදාවක් වෙන්න දෙන්න එපා, උත්සාහයෙන්ම සිත නිවන්න. අපි මෙත් වඩන්නෙ ද්වේශය නැති කරන්න හිතාගෙන ම නෙ. ඇත්තටම මෙත් වඩන්න පටන්ගත්ත කාලෙදි මුලින්ම පුරුදු වෙන්නෙ ඉවසා සිටින්න. හිතට කේන්තිය එන්නෙ ඉබේටම වගේ. මුළින්ම තමන්ගෙ සිත අඳුරගන්න පුරුදු වෙන්න. එතකොට හිතට තරහවක් කේන්තියක් ආවහාම දැනගන්න පුළුවන් මේ ආවෙ කේන්තියක් කියල. ඉතින් ඒ කෙන්තියට ක්‍රියාතමක වෙන්න දෙන්න එපා, පිටට පනින්න දෙන්න එපා. හිත තදකරගෙන ඉවසන්න පුරුදු වෙන්න.

නීවරණ අතරෙ කියවෙන නිදිමත දැනට ගැටළුවක් නෙවෙයි, මොකද අපි මෙත් වඩන්නෙ දවසේ වැඩ කටයුතු කරන ගමන්මනෙ. හිත බිඳින රිදවන බලවත්ම දේ ඔය කියපු එකක්වත් නෙවෙයි, උද්දච්ච කුක්කුච්ච නීවරණය. අපි හැමදාම හිත්වේදනා වින්දේ මෙයා නිසා. මෙයා තමයි අපිට පරන දේවල් මතක් කරන්නෙ, අතීතයේ රිදුනුතැන් මතක් කරව කරව හිතට දුක ගේන්නෙ, කළ නොහොඳත් නොකළ හොඳත් මතක් කරදීල ඇහැට කඳුළු දෙන්නෙ.

මෙයාගෙ හොඳ වැඩත් නැතුවම නෙවෙයි, ගෙදර දොර වැහුවද, යතුර ගත්තද, ලයිට් නිව්වද, වගේ අමතක වුනු දේවල් මතක් කර දෙන්නෙත් මෙයාමයි.

පළවෙනි සටන තියෙන්නෙ උද්දච්ච කුක්කුච්ච නීවරණය එක්ක. උත්සාහයෙන් වීරියෙන් සටන කරන්න ඕනි. උපන් කුසලය (මෙත්සිත,) රැකගන්නත්, නූපන් කුසලය (මෙත්සිත,) උපදවන්නත් වීරියෙන් වැඩකරන්න ඕනි.

තවත් නීවරණයක් තියෙනව විචිකිච්චාව කියල, එයා ගැන ඊළඟ පරිච්චෙදයේදි බලමු.

ඔයා මෙත්සිත වඩන්න කියල පැත්තකට වෙලා බාවනා කරන්න ඕනි නෑ. දවසෙ වැඩ කරන අතරෙදිම මෙත් සිත පුරුදු කරන්න.  රස්සාවෙ වැඩ, ගෙදර වැඩ, දරු මුණුපුරන්ගෙ වැඩ, වගා කටයුතු, ව්‍යාපාර කටයුතු, මේ මොනදේ කලත් මෙත් සිතටම ඉඩ දෙන්න. එහෙම කරන කොට වෙන අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් වෙනස් වෙන හැටි ඔයාටම තේරෙයි. මේ ලියන අපි වැඩිපුරම මෙත්සිත පුරුදු කලේ වාහන වල යද්දි. බොහෝ විට බස් වල.

අද කාලෙ වඩාම හොඳ වෙන්නෙ අවහිර බාදක මැද මෙත් සිත පුරුදු වීම. නිස්කලන්ක තැනක මෙත් සිත පුරුදු කලත් ගෙදරදොරේ, වැඩපොලේ කරදර මැදදි සිත රැකගන්න බැරි වෙනව. ඒක හින්ද අමාරු තැන් වලදිම හිත පදම් කර ගන්න. එතකොට වරදින්න නෑ. චන්දාධිපති, චිත්තාධිපති  කියන අයගෙ උදව් ගත්තම වැඩේ ලේසියි.

ශ්‍රද්ධාව මෛත්‍රීය වගේ ගුණ ධර්ම කෙනෙක් තුළින් උපතින්ම මතුවෙලා පෙනෙන ගුණධර්ම නෙවෙයි. ඉතින් ඒ ගුණධර්ම උත්සාහයෙන් පුරුදු වීමෙන් මතුකරගන්න වෙහෙස වියයුතුමයි.

………..

ශ්‍රද්ධාව

මෛත්‍රීය පටන්ගන්න හැටි අපි මුලින් කීව. දැන් බලමු ශ්‍රද්ධාව ගැන.

ශ්‍රද්ධාව කියන්නෙ උතුම් මිනිස් ගුණ පිළිබඳ පැහැදීම, කැමැත්ත, ආශාව, බැඳීම කියල කියන්න පුළුවන්.බෞද්ධයන් වන අපි, බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ දැනගෙන නිතර අහන්න ඕනි, මෙනෙහි කරන්න ඕනි, වඩන්න ඕනි, තමන් තුළත් යන්තමින් හරි ඒ උතුම් ගුණ ඇති කර ගන්න ඕනි.

බුද්ධානුස්සති, ධම්මනුස්සති, සංඝානුස්සති භාවනා මෙනෙහි කිරීමත් ඉතාම හොඳයි.

කාලයක් මේ විදිහට බුදුගුණ අසමින්, ඒ ලඟම දැවටෙමින්, ඒ ගුණම පුරමින් ඉන්නකොට තමන් තුළ මහා මිහිරක් උපදිනව. බුදු ගුණ අසනකොට, මෙනෙහි කරනකොට ඇතිවන ඒ මිහිර වෙනත් කිසිම මිහිරකට වඩා උසස්. ජීවිතයේ අත්විඳල තියෙන ඕනෑම මිහිරකට වඩා උසස් මිහිරක් බුදුගුණ අසද්දි, සිහිවෙද්දි ඇතිවෙනව. මෙන්න මේ වෙනසට කියනව ශ්‍රද්ධාව ඇතිවුනා කියල.

ඔන්න දැන්නම් ඔයා ඇත්තම බෞද්ධයෙක්. දැන් ඔයා ළඟ ශ්‍රද්ධාව කියන මහා ධනය තියෙනව. ශ්‍රද්ධාව තනියම උපදින්නෙත් නෑ. ප්‍රඥාව සහ තවත් ගොඩක් යහපත් ගුණ ධර්ම ඒ එක්කම උපදිනව. මෑත කාලයේ තායිලන්තයේ පහලවුනු රහත් මෙහෙණින්වහන්සේ නමක් බව කියන “සිල්මාතා කායිව්” මෙහෙණින්වහන්සේ, තමන්ගෙ ගිහි කාලෙ ඉඳලම “බුද්ධෝ” කියන තනි වචනයම වඩල වඩල ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් උපද්දවාගත්  හැටි සිල්මාතා කායිව් කියන පොතේ සඳහන් වෙලා තියෙනව.  මෙහෙණින්වහන්සෙ ගෙ ගිහිකාලෙ නූගත් ගෘහණියක්. ගෙදර වැඩ අතරෙ, දර පලන ගමන්, ළිඳෙන් වතුර ගෙනෙද්ද්දි, අවදියෙන් ඉන්න ඕනිම වෙලාවක “බුද්ධෝ” කියන වචනයම කිව්වලු. ඊට වැඩි දෙයක් දැනගෙන හිටියෙත් නෑලු.

අපේ ජනතාව අතරින්  බුදුමඟ අතහැරුනෙ, මාර්ග ඵල අතහැරුනෙ ශ්‍රද්ධා ගුණය මඟහැරුන නිසා, සැඟවුන නිසා. අපේ අයගේ ශරීර වල ස්නායු සෛල ඇතුලෙ සැඟවිලා තියෙන ශ්‍රද්ධා ගුණය මතු කර ගත්ත දාට ආයෙමත් මාර්ග ඵල ලාභීන් මේ පින් බිමේ මංමාවත් වල දකින්න ලැබෙයි, වැඩිකල් නොයාම.

ඒකයි අපේ ප්‍රාර්ථනය, අපේ උත්සාහය, අපේ අධිෂ්ඨානය. ඔයත් අපට උදව් කරන්න.

ශ්‍රද්ධාව, ප්‍රඥාව, මෛත්‍රිය කියන මේ හොඳ ගුණධර්ම අයිති වෙන්නේ කුසල චෛතසික කියන ධර්ම කාණ්ඩයට. මේ චෛතසික කියන ඒවා හිත පතුලේ සැඟවිලා තියෙන ගුණ සමූහයක්. කුසල චෛතසික 25කුත්, අකුසල චෛතසික 14කුත් අපි ළඟ තියෙනව.

උපතේ ඉඳලම අපි ළඟ ක්‍රියාත්මක වන්නේ තෘෂ්ණාව, මෝහය, ද්වේශය වගේ අකුසල චෛතසික දාහතර. ඉතින් අපි උත්සාහයෙන්ම කුසල චෛතසික මතුකර ගන්න ඕනි. මේ දැනුම තියෙන්නෙ බෞද්ධයින් ළඟ විතරයි.

කුසල චෛතසික අතරින් මතුකරගන්න පහසුම චෛතසිකය තමයි ශ්‍රද්ධාව කියන්නෙ. ඒ නිසයි අපි ඔයාට ශ්‍රද්ධාව උපදවන හැටි කීවෙ.

ශ්‍රද්ධාව කියන්නෙ කෙනෙක් නිවනට පමුණුවන මහ බලයක්. වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන්නෙත ඒ වගේම බල කීපයක්.

දිගින් දිගටම ශ්‍රද්ධාව වඩන කෙනෙකුගෙ මොළයේ විශේශ ශ්‍රද්ධා කලාපයක් සකස් වෙනව. ඒකට කියන්නෙ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියල. වීරිය, ප්‍රඥාව එහෙමෙත් මොළයේ ඉන්ද්‍රිය විදිහට සකස් වෙනව. කෙනෙක්ව බුදුබවට පත් කරන්න උපකාර වෙන්නෙත් ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව කියන තුනෙන් එකක්.

වෙනත් සියළුම ආගම් වල තිබෙන්නෙ භක්තිය කියන සිතිවිල්ල. භක්තිය කියන්නෙ බියමුසු සිතිවිල්ලක්. බය කිරීමෙන් තමයි භක්තිය උපදවන්නෙ. ඒ අනුව භක්තිය උපදින්නෙම බය හෙවත් ද්වේශය කියන අකුසල චෛතසිකය සමඟ. ඉතින් අකුසලයකින් යහපතක් වෙන්නෙ නෑ කියල කාටත් තේරෙනවනෙ.

අපේ අයත් ගොඩක් දෙනෙක් වරද්දාගත්තෙ අපේ බුදුරජාණන්වහන්සෙ ගැන භක්තිමත් වීම නිසා. භක්තියෙන් කරන පූජාවලින් කොහොමද කුසලයක් උපදින්නෙ, නෑ එහෙම වෙන්නෙ නෑ කවදාවත්ම. පූජාවල් තියලත් අකුසලයක් තමයි කරගෙන තියෙන්නෙ.

අපිට මේ භක්තියයි ශ්‍රද්ධාවයි කියන දෙක පැටලුනේ අපි අපේ බුදුරජාණන්වහන්සේ ගෙන් බොහෝම ඈතනිසා. අපේ බුදුරජාණන්වහන්සේව දෑසින් දකින්න පින් ඇති අය උන්වහන්සේගෙ අසීමිත රූපකාය, බුද්ධ ශ්‍රීය, බුද්ධ රශ්මිය දෑසින් දකිනව. මහා කරුණා ගුණය අත්විඳිනව. මිහිරි හඬින් සරලව කියන දහම් අසනව. ඉති ඒ අය ශ්‍රද්ධාවෙන් පිරිල ඉතිරිලා යනව.

ශ්‍රද්දාවෙන් පිරිල ඉතිරිලා යනව කියන්නෙ ආකාරවතී ශ්‍රද්ධාවට පත්වෙනව කියන එකට. ඉතින් ඒ අනුව විචිකිච්චාව දුරුවෙලා යනව. ඒ කිව්වෙ සෝවාන් ඵලයට එරෙහි පළමු බධකය දුරුවෙනව කියන එක.

දැන්කාලෙ අපිට ඒ වාසනාව නැතිනිසා තමන්ගෙ උනන්දුවෙන්ම

ශ්‍රද්ධාව ඇතිකරගන්න.

ශ්‍රද්ධාව බලයක් කරගන්න.

ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කරගන්න.

ආකාරවතී ශ්‍රද්ධාවට පත් වෙන්න.

දැන් විචිකිච්චාව දුරුවෙලා නිසා සෝවන් ඵලය අතේ වගේ තමයි. තව කඩුලු දෙකයි පනින්න තියෙන්නෙ. ඒ සක්කය දිට්ඨියයි සීලබ්බත පරාමාසයයි.

…………..

මෛත්‍රීය

ශ්‍රද්ධාව එක්කම ප්‍රඥාව ඇතුළු කුසල චෛතසික කාණ්ඩය වැඩ කරන නිසා ඔන්න දැන් නම් ඇත්තටම මෛත්‍රී කරන්නත් පුලුවන්. මෙච්චර කල් මෛත්‍රී කරනව කියල කලේ වාක්‍ය කියවන එකයි ඉවසා සිටින එකයි විතරයි. දැන් මුළු හිතින්ම මෛත්‍රී කරන්න. හිතට මිහිරක් දැනෙනකල්ම මෛත්‍රී කරන්න.

අපේ බෞද්ධ පිරිස දැනට වසර සියගාණක ඉඳලම මෛත්‍රී භාවනාව කරනව, මෙත් සිත වඩනව. ඒත් රංඩු සරුවල්, කලකෝලහාල, ඇනුම් බැනුම් නම් අඩුවක් නෑ. අන්තෝ ජටා බහි ජටා කිව්ව වගේ ගෙදර ඇතුලෙත් වලි, පිටත් වලි. මෙත් සිත වඩන උපාසක අම්මලා තමන්ට මෙත් සිත වඩන්නවත් දෙන්නෙ නෑ කියල රංඩු කරනව. ඉතින් කෝ මෛත්‍රිය.

අපේ අයට මෙහෙම උනේ පුංචි අඩුපාඩුවක් සිද්දවුන නිසා. කලින් පරිච්චෙදයේ කියපු විදිහට ශ්‍රද්ධාව උපදවා ගන්නාතුරු මිනිස්සු ළඟ මෛත්‍රිය, ප්‍රඥාව කියන ගුණධර්ම නෑ. එහෙම නැති කාලෙදි මෙත් වඩනකොට උපදින්නේ වංචක ධර්මයක්. ඒ වංචක රාගය වෙන්න පුළුවන්. එහෙම උනාම තමන්ගෙ හිත බැඳුනු යම් කෙනෙකුට, යම් පිරිසකට කරුණාව දක්වනව. ඒ අයව ඉවසනව. හැබැයි වෙනත් අයට නපුරුයි. පොදුවේ කරුණාවක් නෑ.

මෙතැනදි කරුණාව කියන වචනය ලිව්වෙ, සාමාන්‍ය මිනිස්සු අතරෙදි මෛත්‍රීය, කරුණාව වෙන්කර හඳුනා ගන්න අමාරු නිසා. මිනිස්සු ළඟ තියෙන්නෙ කරුණාවේ මෛත්‍රීයේ පිළිබිඹුවක් විතරයි.

අපි කියපු විදිහට ශ්‍රද්ධාව උපදවා ගත්තාට පස්සෙ මෛත්‍රීය, කරුණාව, ප්‍රඥාව සැබෑවටම පහල වෙනව, මුදිතාව කියන අපේ අයට තරමක් නුහුරු ගුණයත් පහල වෙනව. කුසල සිතිවිලිත් පහලවෙනව.

දැන් මෛත්‍රීය, කරුණාව සියළු සත්වයන්ටම පැතිරෙනව.

කලින් පුරුදු කලේ ඉවසීම. ඒ කිව්වෙ දෙයක් සිදුවුනාම කේන්ති යනව, ඒත් කේන්තිය පිටට නොපෙන්න දරාගෙන ඉන්නව.

දැන් මෛත්‍රීය තියෙන නිසා කෙන්ති යනවත් එක්කම සිත නිවෙනව. ඒ තමයි උපේක්ෂාව. මීට පෙර කවදාවත් විඳල නැති අලුත් අත් දැකීමක්. (හැබැයි කේන්ති යාම දුරුවෙලා නම් නැහැ තවම.)

දැන් ඔයා ප්‍රඥාව සහිත ප්‍රඥා වන්තයෙක්. ඉතින් තමන්ගෙ සිතට බොහෝ දේවල් දැනෙන්න ගන්නව. තමන් දැන් අළුත් කෙනෙක් වගේ දැනෙනව. ඉස්සර මෝඩකම් දැන් කරන්නෙ නෑ කියල ඔයාගෙ කටින්ම කියවෙනව.

දැන් ගැඹුරු දහම් පොත පත කියවල තේරුම් ගන්න පුළුවන්. විද්‍යාව, ගණිතය, තාක්ෂණය ගැන වුනත් කරුණු වැටහෙනව. මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුරුදු වෙන්න ඕනි.

දහම් ගැටළු තනියම විසඳන්න පුරුදු වෙන්න. එකම කරුන ගැන සීයක් ආකාර වලින් හිතන්න පුරුදු වෙන්න. මේ ලියන අපිත් පුරුදු පුහුණු කලේ ධර්ම කරුණු විමසන එක. එහෙම කරන එකට කියන්නෙ ධම්මවිචය සම්බොජ්ජංගය වැඩීම කියල. මේ ක්‍රමය තෝරගත්තෙ, වැඩ කරන අතරෙ, මගතොටේදි උනත් හිත මෙහෙයවන්න පුළුවන් නිසා. බොජ්ජංග ධර්ම හතක් තියෙනවනෙ, ඔයා කැමති, ඔයාට සුදුසු එකක් තෝඅගන්න.

…………..

දානය

සියළුම සත්වයින් ගැන මෛත්‍රීය, කරුණාව, මුදුතාව වර්ධනය වෙන අතරෙදි කලයුතු හොඳම දේ තමයි දානය පුරුදු වීම. තවම පුරුදු වෙන කාලෙනම් කෑම කාල ඉතිරිවෙන දේවල් සතුන්ට කන්න හැකිවෙන විදිහට බැහැර කරන්න පුරුදු වෙන්න. අවට පරිසරයට හානි වෙන්න දෙන්න එපා. ඒකත් වරදක්නෙ.

මෙහෙම කාලයක් කරගෙන යද්දි තමන් කෑම කන්න කලින්ම සතුන්ට දෙන්න හිතෙනවනම් ඔන්න ඔයා දිනුම්. ඒ කිව්වෙ දානය දීම නිසා තමන්ගෙ හිතේ සතුටක් ඇතිවෙලා. එහෙම තමයි වෙන්න ඕනි. දානය නිසා හිතට මිහිරක් දැනෙන කෙනෙකුට විතරයි තුන්සිත පහදවාගෙන දානයක් දෙන්න පුළුවන් වෙන්නේ. තුන්සිත පහදවා දන් දෙනවා කියන්නෙ සතුටු සිතින් දානය සැලසුම් කරල, සතුටුසිතින් දානය දීල, සතුටුසිතින් ඉන්න එකට.

අද කාලෙ බොහොමයක් අය දාන දීල මිල මුදල් නාස්ති කරගෙන අකුසල් රැස්කර ගන්නව මේ දේවල් නොදන්න නිසා.

…………..

සීලය

තමන්ගෙ උත්සාහයෙන් ශ්‍රද්ධාව, මෛත්‍රීය, දානය, පුරන කෙනෙක් තුළ සීලයත් ඉබේම වර්ධනය වෙනව. ඒත් එහෙම මදි. ඉතින් සීලය ගැනත් උනන්දුවෙන් කටයුටු කරන්න ඕනි. සීලය ආරක්ශා කරන්න සිතත්, කයත්, වචනයත් පාලනය කරන්න ඕනි. ශ්‍රද්ධාව, මෛත්‍රිය නිසා හිත පාලනය වෙනව. ඒක හින්දයි මුලින්ම සිල් ගැන කියල ඔයාව සිරගත නොකර තමන්ම පාලනය වෙන්න ඉඩ ඇරියෙ. අපේ බුදුරජාණන්වහන්සෙත් මුල් කාලෙ සිල් පැනෙව්වෙ නෑ, අවබෝධය තමයි ඇති කෙරෙව්වෙ. සිත පාලනය වුනාම කාය විඥප්ති, වාක් විඥප්ති කියන ශක්ති දෙකම අඩු වෙනව. එතකොට හොර්මෝන ක්‍රියා අඩු වෙනව. ඉතින් කය, වචනය පාලනය කරන්න ලේසියි. දැන් සම්මා වචා, සම්ම කම්මන්ත, සම්මා ආජීව ගුණ වඩන්න උත්සාහ කල හැකියි.

තමන්ගෙ සීලය ගැන තමන්ට සතුටු වෙන්න පුලුවන් මට්ටමක තියෙන්නත් ඕනි. හැබැයි ඒකම තමන්ට හරහට හිටිනව. වැරදි සිල් රැකීම නිසා, යම් සීලයක තදින් බැඳීම නිසා සීලබ්බත පරාමාස කියන වරද වෙනව.

මම මේ මේ සිල් ආරක්ෂා කරනව, මේ මේ සිල් ආරක්ෂා කරන්නෙ නෑ කියල සිල් පිළිබඳ වාදයක් තියෙනවනම් එතැන සීලබ්බ්ත පරාමාස තියෙනව. සීලබ්බත පරාමාස කියන්නෙ සීලයක තදින් බැඳීම. යම් නුසුදුසු දේකට ඇබ්බැහි වීමත් සීලබ්බත පරාමාසයක්. සීලබ්බත පරාමාසයෙන් මිදෙනව කියන්නෙ තමන් තෝරාගත් සීල වලට බැඳීමෙන් මිදෙන එකට. ඒවගේම එක එක විදිහේ ඇබ්බැහිවීම් වලින් මිදෙන එකට. අර පොත්වල තියෙන අජ වෘත, ගෝ වෘත කතාව අදාලම නෑ, අපේ රටේ එහෙම දේවල් ඇත්තෙත් නෑ, ඉස්සර කාලෙකවත් තිබිලත් නෑ.

කියපු දේවල් තේරුම් ගත්තද මන්ද, සිල් රකින්නත් කියනව,  සීලයෙන් සම්පූර්ණ වෙන්නත් කියනව, සීලයේ බැඳෙන්න එපා කියලත් කියනව.

ඉතින් කරන්න තියෙන පහසුම විදිහ තමයි සියළු පවින් වැලකීම.

ඊළඟට එන ප්‍රස්නෙ තමයි “පව්” මොනවද කියල තෝරගන්න එක. එක එක ආගම් වල පව් වෙනස්. එක එක මතවාද වල පව් වෙනස්. එක එක රටවල් වල පව් වෙනස්.

පව් මොනවද කියල කාගෙන් හරි අහන්න ගියොත් වැඩේ වරදිනව. ආයෙත් සීලයක බැඳිල සීලබ්බත පරාමාසයට වැටෙනව. ඉතින් මොකද කරන්නේ….

අපේ ඇත්තම අත්දැකීම කියන්නම්, ඕනිම කෙනෙක් මුලින් කියපු විදිහට ශ්‍රද්ධාව උපදවාගෙන, මෛත්‍රීය වඩල, ප්‍රඥාව ඇතිව මෙතනට ආවනම් පව් මොනවද කියන ප්‍රස්නෙ අහන්නෙ නෑ. කළයුතුදේ ඉබේම වැටහෙනව.

අපේ රටේ ගොඩක් අය ප්‍රස්න අහන්නෙ අවබෝධයක් නැතුවම දැනුම විතරක් හදාගන්න. දැනුම විතරක් තිබුනත් අනුන්ට කියන්න පුළුවන්. ඒක බටහිර අධ්‍යාපනයෙ ක්‍රමය. ඒක වැරදියි.

අනුන්ට කියන්න, උත්තර ලියන්න, වාද කරල දිනන්න පුළුවන් උනාට තමන්ටම මිහිරක් විඳින්න බෑ.

අපේ බුදුරජාණන්වහන්සෙ අපට බෙදාදුන් මිහිර විඳින්න නම් උත්සාහයෙන් අභ්‍යාස කරල අවබෝධය ලබන්නම ඕනි.

(දැනුම කියන්නේ මොලයේ මතක සටහන්වන කලාපයේ ඇති සටහනක්. ඒව දවසක මැකිල යනව. අවබෝධය කියන්නේ මොලයේ අළුත්ම කලාපයක අවදි වීමක්. ඒකයි අවබෝධය ලබන්න අමාරු, ඒව කවදාවත්ම මැකෙන්නෙ නෑ. ඉදිරි භව වලටත් යනව.)

පින් කරනව කියන්නෙත්, සිල් රකිනව කියන්නෙත් තමන් ඇතුළු  සියළු ජීවය ආරක්ෂා  කිරීම, සියළු ජීවීන් ආරක්ෂා කිරීම, සියළු ජීවීන්ගෙ පැවැත්ම ආරක්ෂා කරදීම.

පව් කරනව කියන්නෙත්, සිල් බිඳිනව කියන්නෙත් ජීවයට, ජීවීන්ට බාදා, හිහැර කරදර කිරීම.

සබ්බ පාපස්ස අකරණං… කියන සියළුම බුදුවරුන් ගේ දේශනාව තේරුම් ගත්තනම් හරි.

…………

දැන් ඔයාට ශ්‍රද්ධාව නිසා මිහිර දැනෙනව,

මෛත්‍රීය නිසා මිහිර දැනෙනව,

දානය නිසා මිහිර දැනෙනව,

සීලය නිසා මිහිර දැනෙනව.

දැන් ඔයාගෙ ජීවිතය මිහිරෙන් පිරුනු ජීවිතයක්. අවදියෙන් සිටියත්, නින්දේ සිටියත් දැනෙන්නෙ සතුටක්. අපේ බුදුරජාණන්වහන්සේ අපට ලබාදුන්නේ මිහිරෙන් පිරුනු ජීවිතයක් කියල මෙතැනට ආව අය දන්නව.  දුක ගැන කට පාඩම් කරන, දුක ගැන වාර්තා ලියන දුකෙන් පිරුනු ජීවිතයක් නෙවෙයි බෞද්ධයාගේ ජීවිතය. සතුට විඳින සතුටෙන් පිරුනු එකක්.

බොහොමයක් දෙනාට මෙතැනට එන්න අමාරු වෙලා තියෙන්නෙ, ඒ අය කුසලය නොදැන අකුසලයම වර්ධනය කරපු නිසයි.  මෙතැනට එන එක, එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගතවන කාලය කියන්න වෙන්නෙ අවුරුදු වලින්. ඒත් අපි අතර පින්වන්තයන් ඉන්න පුළුවන් එක වතාවෙන්ම කරුණු තේරුම් යන.

අද කාලෙ අපි මේ කියන වැඩ පිළිවෙල පහසු වෙන්නෙ කාන්තාවන්ට.

ඒ අයට ශ්‍රද්ධාව ලබා ගන්න පහසුයි. උප්පත්තියෙන්ම කාන්තාවන්ට ශ්‍රද්ධා ගුණයේ මූල ධාතු පිහිටල තියෙනව. පිරිමි අය අතරෙත් ශ්‍රද්ධා වන්තයො ඉන්නව. ඒත් ඒ අය මතට හුරුවෙලා, රැකියාවට ඇබ්බැහි වෙලා, බටහිර (අ )විද්‍යාව ඉගෙනගෙන මොලේ අවුල් වෙලා එහෙම නිසා පන්සලෙන් ඈත් වෙලා, ධර්මයෙන් ඈත්වෙලා. ඉතින් ශ්‍රද්ධාව උපද්දන්න නම් ඔළුවෙ තියෙන දුර්මත හෝදල අයින් කරන්නම ඕනි.

මේ කියන විදිහට ජීවිතයේ මිහිර විඳිමින් ඉස්සරහට ආපු කෙනෙක් උනත් තවම සෝවාන් වෙලා නෑ. ඒත් එයා සෝවාන් වෙලා වගේ අනුන්ට පේනව. මොකද ඒයා එදිනෙදා ජීවිතයේ කරදර බාධක වගකීම් ලෙඩදුක් මැද සතුට අත නොහැර ඉන්න නිසා.

………….

භවනාව

ඔයා දැන් සෝවාන් ඵලයට ගොඩක් ලංවුන කෙනෙක්. මේ වෙනකොට විචිකිච්චාව දුරුවෙලා, සීලබ්බත පරාමාසය දුරුවෙලා. තව ඉතිරි වෙලා තියෙන්නෙ සක්කාය දිට්ඨිය විතරයි. ඒත් අපි තාම භාවනා ගැන කතා කලේ නෑ නේද. අමතක උනා නෙවෙයි, ඕනි උනේ නෑ. ඒකයි.

භාවනාව ගැන කියන්න තියෙන මූලිකම කාරණාව තමයි, “එක වරකට එක වැඩයි” කියන එක. ගේ අතු ගානවා නම් ඒ ගැනම විතරක් සිහි කරමින් ගේ අතුගාන්න ඕනි. දත් මදිනවනම් හිතන්නෙත් දත් මැදීම ගැන විතරයි. මේ විදිහට එකම අරමුණක හිත කය පවත්වන එක ගොඩක් මහන්සිවෙලා පුරුදු වෙන්න ඕනි, මොකද අපි දැන් බහු කාර්ය මිනිස්සු වෙලානෙ. එකපාරම වැඩ පහක් වත් කරනවනෙ. ඉස්සර මිනිස්සු එහෙම නෑ. කුඹුර කොටනව නම්   එකම වැඩක් විතරයි. මේ විදිහට එකම වැඩකට හිත යොමු කරන්න පුරුදු උනොත් හුස්ම ගන්න එකට හිත යොමු කරන්නත් අමාරු වෙන්නෙ නෑ. ඉතින් “කණ්ඩායම…. නිවන බලා… ආ..පසූ… හැරෙන්”

………………..

චිත්ත, චෛතසික

අපි මෙච්චර වෙලා කතා කලේ දහම් සයුරට බහින්නට අකමැති අයට ගොඩ පීනන හැටි කියල දෙන්න. ඉතින් දැන් අපි වතුරට බහිමු.

මිනිස්සු (සත්වයා) සකස්වෙලා තියෙන්නෙ, චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන මූලික කොටස් හතරකින්.

චිත්තය කියන්නෙ සිතට, ඒත් සිත කිව්වෙ අපි මේ ඉර, හඳ, තරු, මල්, අඹ ගෙඩිය, කොස්ස, ළමයා, දුවනවා, පනිනවා කියන සිතිවිලි හඳුනා ගන්න එකට නෙවෙයි. ඒ වගේ සිතිවිලි ඇති කරණ විඥාණයට. මේ කියන විඥාණය කොටස් 89කටත්, තව විදිහකින් කොටස් 120කටත් බෙදල අභිධර්මයේ පෙන්නල තියෙනව. ඔය අතරෙ අකුසල් සිත් 12කුත් තියෙනව. කුසල් සිත් ගැනයි අනෙක් සිත් ගැනයි පස්සෙ බලමු. අපි තාම වතුරට බැස්ස විතරනෙ.

චෛතසික කියන්නෙ විඥාණය සකස් වෙන්න උපකාර වන හේතු සමූහයකට. කුසල චෛතසික 25කුත්, අකුසල චෛතසික 14කුත් තියෙනව. කුසල සිත්වල යෙදෙන්නෙ කුසල චෛතසික විතරයි. සමහර චෛතසික හැම සිතකම යෙදෙනව. සමහර ඒව එහෙම නෑ. අකුසල පැත්ත වැඩ කරන්නෙත් ඒ විදිහටමයි.

රූප වර්ග 28ක් තියෙනව. පිරිසිදු මහා භූත රූප 4ක් සහ ඒවායේ සංකලණයෙන් හැදුනු  රූප 24ක්.

නිර්වාණ කියන්නෙ නිර්වාණ ධාතුවට. ඒ විශ්වය ආරම්භයේ සිට තිබුනු දෙයක්. ඒක හේතු එකතුවෙලා සකස්වුනු දෙයක් නෙවෙයි.

අකුසල සිත් ගැන සොයන විට පෙනෙන දෙයක් තමයි, තෘෂ්ණාව මුල්කරගත් සිත් වර්ග 8කුත්, ද්වේශය මුල් කරගත්ත සිත් වර්ග 2කුත්, මෝහය මුල් කරගත්ත සිත් වර්ග 2කුත් තියෙන බව.

ලෝභ මූල සිත් අට,

1.සෝනමස්ස සහගත දෘෂ්ඨිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත

2.සෝනමස්ස සහගත දෘෂ්ඨිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත

3.සෝනමස්ස සහගත දෘෂ්ඨිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත

4සෝනමස්ස සහගත දෘෂ්ඨිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත 

ඉහතින් කියපු සෝමනස්ස සහගත සිත් හතර වගේම උපෙක්ෂා සහගත සිත් හතරකුත් තියෙනව. ඔක්කොම සිත් අටයි.

සමාන්‍ය මිනිස්සු කවුරුත් සතුටට පත් වෙන්නෙ මේ කියන සෝමනස්ස සිත් නිසා. කෑමක් බීමක් රසවින්දත්, සින්දුවක් ඇහුවත්, ඇසින් දෙයක් බැලුවත්, යමක් කල්පනා කලත් ඒ දෙයින් රසයක් උපදිනවනම් ඒ සෝමනස්ස සිත් ඉපදීම නිසයි. මිනිස්සු ඉගෙනගන්නව, දැනුම ලබනව, බුද්ධිමත් වෙනව,රැකියා ව්‍යාපාර කරනව, කවි සිංදු ලියනව, චිත්‍රපටි හදනව,මේ මොනදේ කරන්නෙත් සෝමනස්ස සහගත ලෝබ සිත් වලින්.

දානයක් දුන්නත්, මල් පූජා කලත්, පළතුරු පූජා කලත් සතුටට පත් වෙනවනම් ඒ සෝමනස්ස සිත් නිසා. යම් පූජාවකින් තමන්ට වාසියක් වෙනබව සිතනවනම් එතන දෘෂ්ඨියකුත් තියෙනව. එහෙම සිතකට කියන්නෙ සෝමනස්ස සහගත දෘෂ්ඨිගත සම්ප්‍රයුක්ත සිත කියල. එහෙම සිතක ලෝභයත්, දෘෂ්ඨියත් කියන දෙකම යෙදිල තියෙනව.

සෝවාන් ඵලයට පත් වෙනවිට සක්කාය දිට්ඨිය දුරු වෙනව. ඒ කියන්නෙ දෘෂ්ඨිය නැතිවෙලා යනව. ඒ නිසා දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත් වර්ග හතර අහෝසි වෙනව. ඉතින් එච්චර තමයි වෙන්න්නෙ. ඉතිරි ලෝභමූල අකුසල සිත්, ද්වේශමූල අකුසල සිත් වෙන අයට වගේම පහලවෙනව. හැබැයි විචිකිච්චා සිත් එන්නෙ නෑ, මොකද, විචිකිච්චාව දුරු කරලනෙ ඉන්නෙ.

දෘෂ්ඨිය

දෘෂ්ඨිය කියල කියන්නෙ දැක්මට, සිතිවිලි රටාවට, සිතන පිළිවෙලට, මොනව හරි දෙයක් විස්තර කරණ ආකරයට. ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින එක සම්මා දිට්ඨිය, ඇත්ත සඟවලා වෙන විදිහකට දකින එක මිච්චා දිට්ඨිය.

පොලොවෙන් ගන්න මැටි අනල වේළුවට පස්සෙත මැටි හැටියට දකින එක සම්මා දිට්ඨිය නම්, ඒ මැටි අනල වේළුවට පස්සෙ දෙවියො හැටියට දකින එක මිච්චා දිට්ඨිය වෙනව.

ඇසින් දකින දෙයක්, කණෙන් අහන දෙයක්, දිවෙන් ලබපු රසක්, මේ ඕනිම වින්දනයක් ඇත්ත හැටියට මතක තියාගත්තහම ඒක මිච්චා  දිට්ඨියක් වෙනව. මොන දේකට හරි රැවටිලා ඉන්න එක මිච්චා දිට්ඨියකට අසුවීමක්.

දැල්ලො කියල හිතාගෙන සෝයා මීට් කන එක මිච්චා දිට්ඨියක්.

කිසිමදාක වෙනස් නොවෙන සත්‍ය හඳුනා ගැනීම තමයි සම්මා දිට්ඨිය.

අපේ ජීවිතය රැඳිල තියෙන කය නැමැති “ලෝකය” සැබෑවටම දුක් සහිතයි,

දුක කියන්නේ කාමයට කියන නමකි,

ඒ දුක හදන හේතුව තෘෂ්ණාව නම් වේ,

තෘෂ්ණාව දුරු කලොත් දුක නැතිවේ,

තෘෂ්ණාව දුරු කළහැකි මගක් සබෑවටම ඇත.

මේ කියන කරුණු, අපේ බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර වදාල කිසිදාක බොරු නොවන සත්‍ය වන නිසා ආර්යය සත්‍ය ලෙස හඳුන් වනව.

ඇත්තටම නැති දේවල් තියෙනව කියල හිතන එක දෘෂ්ඨියක් විතරක් නෙවෙයි මිච්චා දිට්ටියක්. ආත්මයක් කියල දෙයක් ඇත්තටම නෑ, කර්මය නිසා සිත සකස්වෙලා ඉදිරි භවයට යන එක තමයි සිද්දවෙන්නෙ. ඉතින් ආත්මයක් තියෙනව කියල හිතන එක මිච්චා දිට්ටියක්. කර්මය අනුව සකස් වුනු සත්වයෙක් තමයි සසරෙ සැරිසරන්නෙ. තෘෂ්ණාව දුරු කරල කර්මය අවසන් කලාම සත්වයෙකුත් නෑ, සසරත් නෑ. මෙ බව තේරුම් ගන්න එක තමයි සම්මා දිට්ටිය වෙන්නෙ. ඉතින් ඇයි ඕක තේරුම් නොයන්නෙ. ඒක තේරුම් නොයන හේතුව තමයි සක්කාය දිට්ටිය කියන්නෙ.සක්කාය දිට්ටිය නිසා ඇත්ත වසන් වෙලා උපන්දා ඉඳල කාගෙන් හරි ඉගෙනගත්ත දෙවල් ඇත්ත වගේ පේනව.

සක්කාය දිට්ටිය

සක්කාය දිට්ටිය හැදිල තියෙන්නෙ රූප, වේදනා. සංඥා, සංඛාර, විඥාණ කියන කොටස් පහෙන්. රූප කියන්නෙ මුලදි කිව්ව රූප 28ට. ආලෝක තරංග, ශබ්ද තරංග එහෙමත් ඒ රූප වලට අයිතියි. අපි උදාහරනය විදිහට ඇස ගැන කතා කරමු. ඉතින් රූපය වෙන්නෙ ආලෝක තරංගය. වේදනාව වෙන්නෙ ඒ තරංගය ඇසේ ගැටීම. ගැටීම නිසා ඇස තුළ රසායනික සංඥාවක් උපදිනව, ඒක තමයි සංඥාව කියන්නෙ. ඊළඟට සංඛාරය, සංඛාරය කියන්නෙ අර කියපු සංඥාව මොලය තුළදි සකස් වීමට. මේ සකස් වීමෙදි තමයි අර මුලින් කියපු කුසල චෛතසික හරි අකුසල චෛතසික හරි යෙදෙන්නෙ. ඒ චෛතසික ඉබේ යෙදෙනව නෙවෙයි, යෙදෙන්නෙ පොඩිකාලෙ ඉඳල පුරුදු වුනු විදිහට, ඒ කිව්වෙ පෙර කල කර්ම අනුව. (කර්මය කිව්වෙ චේතනාවට, චේතනාව කිව්වෙ චෛතසිකයට. මතකයිනෙ,) අන්තිමට විඥාණය. එතනදි කුසල සිත් හරි එහම නැත්නම් අකුසල වර්ගයේ ලෝබසිත්, ද්වේශසිත්, මෝහ සිත් හරි උපදිනව.

රූප නිසා ගැටීමෙක් (වේදනාවක්,) ඇතිවුනොත්, විඥාණයක් ඇතිවීම අනිවාර්‍යයි.

මෙතැනදි දෘෂ්ඨිය කියන ගුණය නිසා සිදුවන වරද තමයි, සංඥාවක් ආවහම ඒක මොකක් හරි විදිහකට සකස්වෙලා(සංඛාර,) මොකක් හරි විඥාණයක් ඉපදවීම. යම් නොගැලපෙන විඥාණයක්  ඇතිවන නිසා මිච්චා දිට්ටියක් ඇතිවෙනව.

මේ මොකක් හරි විඥාණයක් ඇති කරණ ගුණය නිසා මිනිසාට පරිකල්පනය ඇති වෙනව. ඉතින් කලා නිර්මාණ කරන්න, නවකතා කවි සිංදු ලියන්න පුළුවන් වෙනව.

ඒත් මේ කියපු මොකක් හරි විඥාණයක් ඇතිවන ගුණය දුරු කලොත් අසන දකින හැම දෙයකම සත්‍යය වැටහෙනව.

……………

ලෝබ මූල සිත් හතරක් ඉතුරුවෙලා තියෙනවනෙ. ඉතින් ලෝබකම, අසාව, කැමැත්ත, උවමනාව, ආදරය, රාගය, වගේ සිතිවිලි සෝවාන් තැනැත්ත ළඟත් තියෙනව. තිබුනත් යන්තමින් තමයි තියෙන්නෙ. ආවේගශීලී වෙන්නෙ නෑ, මත් වෙන්නෙ නෑ. විසාකා මහෝපාසිකාව වයස අවුරුදු හතේදි සෝවාන් වුනු කෙනෙක්. තරුණ කාලෙදි විවාහ වෙලා දරු මල්ලොත් දොලොස්දෙනෙක් ලබල ගේදොර වතුපිටිත් බලාගෙන පවුලෙ කාටත් බණ කියාදීල සාසනේ වැඩත් කරගෙන අපිටත් වඩා හොඳින් ඔය හිටියෙ.

මිනිස්සු කාටත් බය, දුක, තරහව, කෝපය, කේන්තිය, කලකිරීම ආදිය ඇතිවෙන්නෙ ද්වේශ සිත් නිසා.

සෝවන් තැනැත්තෙකුට උනත් මේ දේවල් ඇති වෙනව, මොකද, ද්වේශය දුරු කරල නෑනෙ. හැබැයි විසාල වෙනසක් තියෙනව. ශ්‍රද්ධාව වැඩිල, මෛත්‍රීය වැඩිල, සීලයෙන් දියුණුවෙලා නිසා මහ වැරදි කරන්නෙ නෑ, අපායට යන තරමෙ අකුසලයක් නම් කිසිම විදිහකින් සිද්ද වෙන්නෙම නෑ.

සෝවාන්වුනු කෙනෙකුගෙ තියෙන එක වෙනසක් තමයි එයාල ළඟ කුසල මූල සිත් උපදින එක. ධර්ම මාර්ගයටවත් ආවෙ නැති කෙනෙක් ළඟ කුසල සිත් නෑ, එයාල ළඟ ප්‍රඥාව නෑ. මහා විද්‍යාඥයො ළඟවුනත් ප්‍රඥාව නෑ. එයාල ළඟ තියෙන්නෙ සෝමනස්ස සහගත ලෝබසිතේ උපදින බුද්ධිය.  

බුද්ධියයි ප්‍රඥාවයි කියන්නෙ, ඇසයි කණයි වගේ වෙනස් දේවල් දෙකක්. දෙකෙන්ම තියෙන්නෙ එකම වගේ ප්‍රයෝජන. ඒ වුනාට ක්‍රියාකාරකම් වෙනස්. බුද්ධිය උපදින්නෙ, සිතේ අකුසල පැත්තෙ, ලෝබ සිත් අතරෙ, සෝමනස්ස සිත් වල. ප්‍රඥාව උපදින්නෙ, සිතේ කුසල පැත්තෙ ප්‍රඥා සිත් අතරෙ. මේ දෙක උපදින්නෙ මොලේ වෙනස්ම කලාප දෙකක. සාමාන්‍ය බුද්ධියක් තියෙන අය තමන්ගෙ මතකයේ ඇති කරුණු ඒ විදිහටම ක්‍රියාත්මක කරනව. ඉහල බුද්ධියක් ඇති අය තමන්ගෙ මතකයෙ තියෙන කරුණු ගලපල, විමසල, අලුතින් සකස් කරල විවිධ අමුතු දේ කරණව. තර්ක කරනව, වාද විවාද කරණව, නිර්මාණ කරණව. බුද්ධියෙන් වැඩ ගන්න නම් දැනුම්, දත්ත මතක ගබඩාවෙ තියෙන්නම ඕනි.

ප්‍රඥාව ලබපු කෙනාගෙ බුද්ධිය අහෝසි වෙන්නෙ නෑ. එයාට ප්‍රඥාවයි, බුද්ධියයි දෙකම තියෙනව. එයා ඒ දෙකෙන්ම වැඩ ගන්නව.  ප්‍රඥාව නිසා කලින් ඉගෙනගත්තෙ නැති දේ උනත් වැටහෙනව. එයාට තමන්ගෙම මතයක් තියෙනව. හැමදේම අනුන්ගෙන් අහන්නෙ නෑ.

කුසල සිත් උපදවන කුසල චෛතසික 25ම සෝවාන් තැනැත්ත ළඟ ක්‍රියාත්මක වෙනව. අකුසල චෛතසික 14න් දෙකක් අඩුයි. ඒ විචිකිච්චාව සහ දෘෂ්ඨිය.

අපි මුලදි රූප 28ක් ගැන කිව්වනෙ, සෝවාන් අයටත් ඒ රූප 28ම තියෙනව. ඒකෙ වෙනසක් නෑ.

 තියෙන විසාලම වෙනස තමයි, තියෙන පුදුමාකාර වෙනස තමයි, තියෙන වටිනාම වෙනස තමයි, සෝවාන් ඵලයට පත්වුනු අයට, සෝවාන් ඵලයට පත්වෙන වෙලාවෙදි ඒ අමාසුවය වන නිර්වාණ ධාතුව වැටහෙනව… සාදු..සාදු..සාදු..

සෝවාන් ඵලයට පත්වුනු කෙනෙකුට ලෝකය පෙරලන්න තරම් මහ බලයක් ලැබෙන්නෙ නෑ, හැබැයි ලෝකය පෙරළුනත් නොසැලී ඉන්න තරම් බලවත් සිතක් ලැබෙනව.

සොවාන් මාර්ගයේ එන කෙනෙකුට, ඵලය ලැබෙන්න පෙර ඉඳලම තමන් කළයුතු දේ නොකළයුතු දේ වැටහෙනව. ඒ මාර්ග අමාර්ග ඥාණ දර්ශණ විසුද්දියේ මාත්‍රයක්. ඒ වගේම අනුන්ගේ ගති ස්වභාව වැටහෙනව. ඒක චේතෝපරෙ‍ය්‍ය ඥාණයේ මාත්‍රයක්.

ඵලයට පත්වුනාම විසාල ප්‍රඥාවක් පහල වෙනව. ඕනෑම දෙයක් ගැන බොහෝ කරුණු වැටහෙන්න පටන්ගන්නව.

කොහොම උනත් සෝවාන් ඵලය තියෙන්නෙ පොලොවෙ නම්, රහත් ඵලය තියෙන්නෙ අහසෙ, ඉරටත් එහා. ඒතරම් ලොකු වෙනසක්.

……………..

කර්ම ඵල

මේ ලිපියෙන් කියන විදිහට මෙච්චර දුරකට ආව කෙනෙක් සෝවාන් ඵලය නොලබා මියගියොත් මොනවද වෙන්නෙ. අපි ඒගැනත් ටිකක් බලමු.

ඉපදුනු සෑම කෙනෙක්ම මියයනව. ඒක ලෝක ධර්මතාව. ඒවගේම මියයන අය ආයෙත් උපදිනව.  යළි උපදින එක නවතින්නෙ පිරිනිවන් පෑමෙන්ම විතරයි.

මරණ මොහොතෙදි පහලවෙන අවසාන සිත තමයි චුති සිත. ඊළඟ සිත තමයි මතු භවයෙ පළමුවන සිත. ඒක ප්‍රතිසන්ධි සිත.

චුති සිතේ චේතනාව තමයි ඊළඟ භවයේ උප්පත්තියට හේතුවන කර්මය වෙන්නෙ.

මෙච්චර කාලයක් හිත දියුනු කරපු කෙනෙකුගෙ අන්තිම සිතේ චේතනාව මොකක් වෙයිද.

අපිත් එක්ක මේ ගමන ආව අය නොකඩවා නොවරදවා මෛත්‍රීය වඩපු අය. සියළු සතුන්ට මෙත් වඩපු අය. ඉතින් එහෙම කෙනෙකුගෙ අවසන් සිත විතරක් නෙවෙයි, සෑම සිතකම චේතනාව වෙන්නෙ මෛත්‍රීය.

ප්‍රතිසන්ධිය දෙන කර්ම හැටියට හඳුන්වන්නෙ,

ගරුක කර්ම

ආසන්න කර්ම

ආචින්න කර්ම

කඨත්තා කර්ම       කියන කර්ම ස්වභාව වලට.

පින් වන්තයින්ට ගරුක කර්මය වෙන්නෙ ධ්‍යාන ඵල. දිගටම මෛත්‍රීය වඩපු පින්වතුන්ට ඒනිසාම ධ්‍යානයක් ලැබිල තියෙන්නත් ඉඩ තියෙනව. එහෙම උනොත් මෛත්‍රීය ගරුක කර්මය හැටියට ඉදිරියට එනව.

ගරුක කර්මයක් නැති අයට ඊළඟට එන්නෙ ආසන්න කර්මය. අපේ පින්වතුන් සෑම වලාවකම මෛත්‍රීය වඩන නිසා ආසන්නයේම ඉන්නෙත් මෛත්‍රී චේතනාව. ඉතින් ආසන්න කර්මය හැටියට එන්නෙත් මෛත්‍රී චේතනාවමයි.

හොඳයි ඒ දෙකම මගහැරුනොත්, ඊළඟට යෙදෙන්නෙ ආචීර්ණ කර්මය. ඒ කියන්නෙ පුරුදු පුහුණු කරණලද කර්මයක්. ඉතින් අපේ පින්වතුන් හැමදාම පුරුදු පුහුණු උනේ මෙත් වඩන්න නෙ. ඒකෙ තව අහන්නත් දෙයක් තියෙනවද. ඊළඟ භවය දෙන්නෙ මෛත්‍රීයම තමයි. ඒක ෂුවර්.

 මෙත් සිතකින් ප්‍රතිසන්දිය ලබන කෙනෙක් අපායකටනම් යන්නෙ නෑ, නෑමයි. එකත් ෂුවර්.

ඉතින් බලන්න, නොන්ඩි ගගහ හරි මේ පාරෙ ආවොත් ප්‍රතිඵල ෂුවර්ම තමයි.

……………

කෙනෙක් සෝවාන් ඵලයට පත්වුනාට තෘෂ්ණාව වත් අවිද්‍යාව වත් නැතිවෙන්නෙ නෑ කියල දැන් ඔයා දන්නව. ඒත් තෘෂ්ණාවත් ටිකක් හරි අඩු වෙනව. මත් වීම අඩු වෙනව. තෘෂ්ණාව නිසා කෙනෙක්,

මතු භවයක් ලබනව

දැනට ගෙවන ජීවිතය තුළ සතුටක් විඳිනව

තමන්ගෙ ජීවිතයට ඇළුම් කරණව.

ඔයාගෙ මතු භවය ගැන දැන් මොකද හිතෙන්නෙ. අපි කතා කරගත් විදිහට පුරුදු පුහුණු උනොත් මතු භවය සුගතියකට යනබව නියතයි.

දැනට ගෙවන ජීවිතයෙ සතුටක් ලැබෙනවද. ආහාර පාන නිසා, දේපොල වස්තුව නිසා, විවිධ ජයග්‍රහන නිසා, විවිධ අවස්ථා නිසා සතුට ලැබෙනව.

ඔය කියන සතුට ගෙම්බටත් ලැබෙනව, සර්පයටත් ලැබෙනව. පනුවටත් ලැබෙනව.  ඉතින් ඕක ලබන්න මනුස්සයෙක්ම වෙන්න ඕනි නෑනෙ. මනුස්සයෙක් වගේ ජීවිතයෙ මිහිර විඳින්න මේ අපි කතා කරගත් මග දිගේ ඉස්සරහට එන්න.

ඕනිම සතෙක් තමන් ලබල තියෙන ජීවිතයට ඇලුම් කරණව. බල්ල, පූස, අලිය, කොටිය, ඌර, මැස්ස, කූඹිය මේ කවුරුත් එහෙමයි. තිරිසන් ආත්මයක් ලබපු ඌරෙක් කියනවද “අනේ මං ඌරෙක් වෙලා ඉපදිලානෙ, අපරාදෙනෙ, මෙහෙම ඉඳ වැඩක් නෑ, මං කාටහරි බිලි වෙනව” කියල. නෑ, එහෙම නෑ. එයා බලන්නේත් ජීවත් වෙන්න, ඊරියක් හොයා ගන්න. එහෙම නේද.

ඔයත් තාම තමන්ගෙ ජීවිතයට ආදරෙයි නේද.

………

දුක

තමන්ට දුක දැනෙන්නේ ඇයි කියල හිතුවද. දුක දැනෙන්නෙ තමන්ගෙ ජීවිතයට තමන් ආදරය කරන නිසා, එහෙම නේද. ලෙඩ  රෝග නිසා, වයස නිසා කයට දුක් එනව. තමන් හිතන විදිහට දේවල් ඉටු නොවෙන කොට හිතට දුක එනව. ඉතින්,

දුක කියන්නෙ මොකක්ද.

දුක කියන්නෙ හිතන දේ ඉටු නොවීම.

දුකට හේතුව මොකක්ද.

දුකට හේතුවතමයි ඉටුනොවන දේ හිතීම.

ඇයි ඉටුනොවන දේ හිතන්නෙ.

ඉටුවෙයි කියල තමයි හිතන්නෙ, තමන්ට ආදරේ නිසා තමන්ට සතුට ලැබෙන පිලිවෙලට හිතනව. ඒවයෙ වරදක් තේරෙන්නෙ නෑ.

ඇයි තේරෙන්නෙ නැත්තෙ.

අවිද්‍යාව නිසා.

ඇයි අත්ත ඇතිසැටියෙන් නොහිතා තමන්ගෙ වාසියට හිතන්නෙ.

තමන්ට වටින්නෙ තමන්වම මිසක් ඔයකියන සත්‍යය නෙවෙයි නිසා.

ඇයි තමන්ට තමන් වටින්නේ.

තෘෂ්ණාව නිසා.

ඔයාට තේරුනා නේද දුක ඇතිකරන්නේ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි කියල. ඉතින් දුක නැති කරන්න නම් ඒ දෙක නැති කරන්න ඕනි.

විදර්ශනාව

මේ වගේ ප්‍රශ්නයක් විසඳා ගන්න අපේ බුදුරජාණන්වහන්සේ පෙන්නා වදාල ක්‍රමය තමයි,

ප්‍රශ්නය හඳුනා ගැනීම.

මූල හේතුව හඳුනා ගනීම.

විසඳුම හඳුනා ගැනීම.

විසඳුමට යන පියවර ක්‍රියාත්මක කිරීම.

මේ තමයි අපේ බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාල චතුරාර්ය සත්‍යයේ භවිතා කරණ පිළිවෙල. ඒ විදිහට ප්‍රශ්නයක් විසඳන්න බලමු.

ප්‍රශ්නය, ලෙඩ රෝග නිසා කයට දුක දැනීම.

මූල හේතුව, කයක් තිබීම.

විසඳුම, කය නැති කිරීම.

විසඳුමට පියවර, කායානුපස්සනාව වැඩීම.

කයානුපස්සනා  වැඩීම කියන්නෙ කය ගැන සැක නැතිව දැනගැනීම, කයේ ක්‍රියාකාරිත්වය දැනගැනීම. කය ගැන ගැඹුරින් හදාරන කොට, සියුම්ව බෙදබෙදා බලනකොට කය කියල දෙයක් නැතිබව වැටහෙනව. චිත්තානුපස්සනාවෙදි හිතේ ක්‍රියාකාරිත්වය බලනව. (මේ ගැන කරුණු වෙනම ලිපියක විස්තර කරනව. )

අපි මෙතනදි විදර්ශනා භාවනා කියන වචනය භාවිතා නොකලෙ, විදර්ශනා කරන්නෙත් වෙන වෙන වැඩ රාජකාරි අතරෙදිමනිසා.

දර්ශනය – කරුණු එකතු කොට බැලීම

විදර්ශනය – කරුණු බෙදබෙදා බැලීම.

දර්ශනය, දෘෂ්ඨිය ගැන කලින් කතා කලානෙ. ඔයා මල් ගසක් දිහා බලපු අවස්ථාවක් මතක් කරන්න. ගසේ කොල එකක් එකක් දිහා වෙනවෙනම බලනව, නටු දිහා බලනව, මල් දිහා බලනව, එක එක මල දිහා වෙන වෙනම බලනව, මල්පෙති මල් රේනු මේ හැම දේම බලනව, ගසේ කඳ මුල් ආදියත් බලනව, වර්ණ දිග පළල සුවඳ ගැනත් බලනව. මෙහෙම බොහෝ කරුණු බලල එක පයිල් එකක් හදනව, ඒක හරියට වීඩියෝ ක්ලිප් ඒකක් වගේ. ඉතින් මේ පයිල් එක මතක ගබඩාවෙ තැන්පත් කරනව. දැන් මේ පයිල් එකටම එක නමක් දෙනව “රෝස පඳුර”. ඔහොම විතරක් නෙවෙයි, දිවුල් ගෙඩිය ගැන හදපු පයිල් එක බැලුවනම් සුවඳ, රස, ශබ්ද්ය, ස්පර්ශය එහෙමත් ඇති.

මෙහෙම පයිල්, වීඩියෝ හදන එක තමයි දර්ශනය, ඔය වැඩේට උදව් කරන්නෙ දෘෂ්ඨි චෛතසිකය. ඔයාම හිතල බලන්න තමන්ගෙ සමීපතම අය ගැන හදපු පයිල් වල මොනතරම් විස්තර තියේද කියල.

බොහෝ කරුණු එකතු කරල සමස්ත එකක් හදන එක තමයි දර්ශනය.

විදර්ශනය කියන්නෙ අර කියපු පයිල් හදන වැඩේට විරුද්ද වැඩ පිළිවෙල. කරුණු එකතු කරල නම් දාන්නෙ නෑ, කරුණු බෙදල බෙදල බලනව. මනුස්සයෙක්ව දැක්කහම කෙස්, ලොම්, නිය, දත්.. මෙහෙම පෙනෙන නොපෙනෙන කොටස් වලට බෙදනව. ඒ ශරීර කොටස් රසායනික සංයෝග වලටත් බෙදනව.  රසායනික සංයෝග පරමාණු වලටත් බෙදනව. ඒ පරමානු ශක්ති තරංග වෙනකල්ම බෙදනව. එතකොට මනුස්සයත් නෑ, ලෝකයත් නෑ, විශ්වයත්නෑ. තියෙන්නෙ ශක්ති තරංග විතරයි කියල වැටහෙනව. ඉතින් තව මොනව හොයන්නද.

විදර්ශනය නිසා දර්ශනය දුරු වෙනව, (දෘෂ්ඨි චෛතසිකය නැති වෙනව,)

විදර්ශනාවත් දැනගත්තාට පස්සෙ තියෙන්නෙ සෝවාන් ඵලය අත්විඳින්න විතරයි. මාර්ග ඵල ලබනව කියන්නේ හිතල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සුදුසු වටපිටාව හැදුවහම පහලවන දෙයක්.

උත්සාහයෙන් කටයුතු කළ කෙනෙකුට මේ වෙනකොට වටපිටාව සකස්වෙලා තියෙනව.

විචිකිච්චාව දුරුවෙලා,

සීලබ්බත පරාමාසය දුරුවෙලා,

විදර්ශනා වඩල නිසා දෘෂ්ඨිය දුරුවෙලා.

…………..

මැදුම් පිළිවෙත

දැන් ඉතින් මැදුම් පිළිවෙතේ සිත පිහිටෙව්වහම නිර්වාණ ධාතුව අරමුණු වෙනව. සිත පිහිටුවන්නෙ මැද, එක අන්තයක තියෙන්නෙ කය. ඒ තමයි කාම සුඛල්ලිකානු යෝගය. අනෙක් අන්තයෙ සිත, ඒ තමයි අත්තඛිලමතානු යෝගය.

 කාමසුඛල්ලිකානු යෝගය කියන්නේ ශරීරයට සැප දීම කියල ඔයා දන්නව. ඒක මෙහෙම කියමු, ශරීරයෙන් සැප විඳීම කියල. ශරීරයෙන් සැප විඳිනව කියන්නෙ ඇසින්, කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මිහිර විඳින එකට. සත්තු කව් රුත් බලන්නෙ ජීවත් වෙන්න, මිහිර විඳිමින් ජීවත් වෙන්න. ඇස කණ වගේ ඉන්ද්‍රිය පහ පිනවන්න විවිධ අරමුණු ඕනි, අරමුණු හොයන්න වෙහෙස වෙන්න , ධනය වැය කරන්න ඕනි. මෙහෙම කය පිනවමින් වාසය කිරීමට කියනව කාමසුඛල්ලිකානු යෝගය කියල. ඔයා දැන් කයානුපස්සනාව වඩල, කයේ යථාර්තය දැකල, අසුබය දැකල, වයසත් එක්ක බොහෝ අත්දැකීම් ලබල කයෙන් ඉවත් වෙන්න සූදානම් කෙනෙක්. ඉතින් කය නිසා සිතිවිලි ඉපදවීම වලක්වා ගන්න උත්සාහ කළයුතුයි.

අත්ථඛිලමතානු යෝගය කියන්නෙ ශරීරයට අධික දුක් දීම කියල ඔයා දන්නව. අපි ඒක මෙහෙම කියමු, කය අමතක කර සිතේ පැත්ත ගැනීම කියල. කය ගැන හිතන්නෙම නෑ, හිතට මුල්තැන දෙනව. හිතෙන් ම රස විඳිනව. හිතෙන් හීනයක් මවනව, ඒක රස විඳිනව වගෙ. එහකොට හිත විතරක් රජ වෙනව. මෙහෙම කරන්න ගියාම,

කාම විතක්ක ඇති වෙනව,

ව්‍යාපාද විතක්ක ඇතිවෙනව,

විහින්සා විත්ක්ක ඇතිවෙනව,

හිතේ විවිධ තර්ක විතර්ක සිහින ඇතිවීම වරදක්. ඒ නිසා හිතෙන් හිත නිදහස් කර ගන්න ඕනි.

හිතෙන් රසවිඳීමත් අත්හැරල, කයෙන් රසවිඳීමත් අත්හැරල අතරමැදකට හිත ගේන්න ඕනි. එතැන තමයි මැදුම් පිළිවෙත හමුවෙන්නෙ.

සිතත් කයත් අතරමැද තැනක සිත පිහිටෙව්වහම නිර්වාණ ධාතුව අරමුණු වෙනව වෙනවාමයි.

සාදු.. සාදු.. සාදු..