About Us

සවිතක්ක.නෙට් අපි ගැන

සවිතක්ක.නෙට් වෙබ් අඩවිය නිර්මාණය කළ අප, වෘත්තියෙන් ඉංජිනේරු වරයෙකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඉදිකිරීම් ව්‍යාපෘති රැසක සේවය කොට ඇති නමුත් දැනට සියළු වෘත්තීය කටයුතු වලින් ඉවත්ව පූර්ණ කාලීනව ධර්ම ගවේශණයෙහි නිරතව සිටිමු. වෘත්තියෙහි නියැළුණු සමයෙහි වුව ධර්ම ගවේශණයට මුල්තැන දුන් අතර ගෙවන ලද කාලය වසර විස්සකට වැඩි වේ.

දහමට නොපිවිසි පෙර තරුණ වියේ දී පංච ශීලය පිළිබඳව හෝ සැලකිල්ලක් නොවුනි. එවැනි සමයක කළ්‍යාණමිත්‍ර ගුරුතුමා වූ බමුණුගම ශාන්තවිමල ස්වාමින්වහන්සේගේ ඇසුර ලැබීම අප ලද මහත් භාග්‍යයකි.

වර්තමාණයේ විශිෂ්ඨ යතිවරුන් වන පූජ්‍ය දේවාලේගම අචල ස්වාමින්වහන්සේ ද, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ ද පෙර කල පේරාදෙණි සරසවි ඉංජිනේරු පීඨයේ සමකාලීන මිතුරෝය.

රත්නපුර නගරයේ විසූ ගිහි ධර්ම කථිකයෙකු වූ ඩබ්.එන්.කේ.සෙනවිරත්න මහතා අප සිත තුළ ශ්‍රද්ධාව ජනිත කරවූ අතර ශ්‍රද්ධාවෙහි පිහිටුවන ලදී. එය අප ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.

අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල ගෞරවණීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දහම් පොත් පෙල බොහෝකොට පරිශීලනය කරණ අප ඒ හැරුණු කොට පූජ්‍ය වල්පොල රාහුල, පූජ්‍ය ලබුගම ලංකානන්ද, පූජ්‍ය හේන්පිටගෙදර ඥාණසීහ, පූජ්‍ය කන්නිමහර සුමංගල, පූජ්‍ය තුඹුල්ලේ ධම්මානන්ද, පූජ්‍ය ඇස්වත්තේ රේවත, පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද, පූජ්‍ය නිවන්දම ශ්‍රී ධර්මකීර්ති, පූජ්‍ය කළුගමුවේ නාරද, පූජ්‍ය උතුරාවල ධම්මරතන, පූජ්‍ය ගල්කිරියාගම විමලානන්ද, පූජ්‍ය මාපලගම මෙත්තෙයිය, පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලි, පූජ්‍ය මකුරුප්පෙ ධම්මානනද, පූජ්‍ය බුද්ධංගල ආනන්ද, පූජ්‍ය ලංකාපුර සාරිපුත්ත, පූජ්‍ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති, පූජ්‍ය පැලැන්වත්තේ ධම්මතිලක, පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද යන වියත් යතිවරයාණන්වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථ බොහොමයක්ද, පින්වත් ගිහි වියතුන් විසින් රචිත පොත පත සේම ලිපි සහ වෙබ් අඩවි ද නිතර පරිශීලනය කලෙමු.

ධර්ම ගවේශණයට එළඹුනු පසුව ගෙවුනු කාලය තුළ බණවර 3000කට අධික සංඛ්‍යාවක් ශ්‍රවණය කර ඇත්තෙමු. ඒ මහඟු පුණ්‍යකර්මයට උපකාර වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයට සහ සියළු බෞද්ධ නාලිකා වලටද, බෞද්ධ   යූ – ටියුබ් නාලිකා වලටද  අපගේ ගෞරවය පුදකරන්නෙමු.

ඇසූ දහම් අතරින්, පූජ්‍ය මාවරලේ භද්දිය, පූජ්‍ය  බෝපිටියේ සිරි සුමේධ, පූජ්‍ය අළුදෙනියේ සුබෝධි, පූජ්‍ය ගන්තුනේ අස්සජී, පූජ්‍ය තල්ගමුවේ සුධීරාණන්ද, පූජ්‍ය මාංකඩවල සුදස්සන, පූජ්‍ය කැළණියේ අජිත, පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප, පූජ්‍ය මීමුරේ ධම්මවංස, පූජ්‍ය දෙල්ගොඩ ඤාණසුමන, පූජ්‍ය නක්කාවත්තේ බුද්ධපරායන, පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද, පූජ්‍ය කොස්වත්තේ අරියවිමල, පූජ්‍ය උඩුදුම්බර කශ්‍යප,  පූජ්‍ය සමන්තභද්‍ර ආදී යතිවරයන් වහන්සේලාගේ දේශනා බොහෝසෙයින් ශ්‍රවණය කල අතර,                                                 ඒ අතරින් පූජ්‍ය තල්ගමුවේ සුධීරාණන්ද, පූජ්‍ය මාංකඩවල සුදස්සන, පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප, පූජ්‍ය මීමුරේ ධම්මවංස, යන යතිවරයාණන්වහන්සේලාගේ දේශනා අපකෙරෙහි බොහෝසෙයින් බලපෑබව උන්වහන්සේලා කෙරෙහි මහත් ගෞරවයෙන් සටහන් කර තබමු.

අපගේ ගමේ පංසල වන අරන්දර ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිපති, පූජ්‍ය අරන්දර විජිතනන්ද කළ්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේ ගේ සේවය අපගේ දිවිපැවැත්ම කෙරෙහි මහත් උපකාරයක් වූ බවද ගෞරවයෙන් යුතුව සටහන් කර තබමු.

දහම් මඟ ගමනට උපකාර වුනු අපගේ පවුලේ සොයුරු සොයුරියන්, ඥාති සොයුරු සොයුරියන් සහ දූ දරුවන්ටද, වෙබ් අඩවිය නිර්මාණය කරදුන් අපගේ බාල සොයුරිය ප්‍රසාදී සහ ඇයගේ සැමියා වන දර්ශන සොයුරාටද අපගේ ස්තුතිය පුදකර සිටිමු.